පියයුරු පිළිකා යනු ලෝකයේ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයක්. මේ හේතුවෙන් ජීවිත අහිමි වන කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. ලෝකයේ සිදුවන මරණ සංඛ්‍යාව සැලකූ විට පිළිකා මරණ 5 වැනි ස්ථානය ගන්නා අතර විශේෂයෙන්ම පියයුරු පිළිකා හේතුවෙන් එම මරණ සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලූවිට, එය ලෝකයේ සෙසු රටවල ඇති තත්ත්වයන්ට බෙහෙවින් සමාන වෙනවා. දිනකට කාන්තාවන් 12 දෙනෙකු පමණ පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට වාර්තා වන අතර සෑම දිනකම කාන්තාවන් 2 දෙනෙකුට මේ හේතුවෙන් ජීවිතය අහිමි වෙනවා. අවාසනාවකට, පියයුරු පිළිකා හා සම්බන්ධ පිළිකා වර්ගය වළක්වා ගත හැකි දෙයක් නොවෙයි.
එසේ නම්, මේ සම්බන්ධයෙන් අපට මොකක්ද කරන්න පුළුවන්?
පියයුරු පිළිකාවක් ඇති බවට පෙන්වන බාහිර ලක්ෂණ වලට පෙර පියයුරු පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමට අපට හැකි නම්, එය සම්පූර්ණයෙන්ම සුව කිරීමට අපට හැකියාව තිබෙනවා. 1980 දශකය දක්වා, පියයුරු පිළිකා සඳහා වූ ප්‍රතිකාරවල ගුණාත්මක භාවයේ සැලකිය යුතු දියුණුවක් දක්නට තිබුණේ නැහැ. එයින් අදහස් කරන්නේ සුව කිරීමට උත්සාහ කළ තරමට, රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හෝ සම්පූර්ණයෙන් පිළිකාව සුව කිරීමට ක්‍රමයක් නොතිබුණු බවයි. කෙසේ වෙතත්, පසුව පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා ක්‍රම වැඩිදියුණු කළ පසු, සුව කිරීමේ වේගය සැලකිය යුතු ලෙස වැඩි වුණා. මෙහි විශාලතම කාර්යභාරය වූයේ මැමෝග්‍රැෆි පරීක්ෂාව හඳුන්වා දීමයි. මෙයින් පසු, කාන්තාවන්ට තම පියයුරු වල කිසියම් වෙනස් වීමක් නිරීක්ෂණය කිරීමට හෝ දැනීමට පෙර වගේම පිළිකාවේ ආරම්භක අවධියේදීම පවා පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණා. සම්මත ප්‍රතිකාර ක්‍රම මගින් සම්පූර්ණයෙන්ම පිළිකාව සුව කිරීමට මෙමගින් හැකි වුණා. මෙයින් අපට සම්පූර්ණ පියයුරු ඉවත් කිරීම හෝ රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාර සඳහා යාම වළක්වා ගන්න හැකියාව තිබෙනවා.
මැමෝග්‍රැෆි සිදු කළ යුත්තේ කුමන වයසේ කාන්තාවන්ද?
වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් මෙම පරීක්ෂණය වාර්ෂිකව හෝ ලංකාවේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය පරිදි අවම වශයෙන් සෑම වසර 2 කට වරක්වත් කළ යුතුයි. නමුත් ශ්‍රී ලංකාවට එම වරප්‍රසාදය තවමත් ලැබී නැහැ.
එසේ නම් අපි කුමක්ද සිදුකළ යුත්තේ?
මැමෝග්‍රැෆි තරම් ප්‍රතිඵලදායක නොවූවත්, වයස අවුරුදු 20ට වැඩි නම් තම පියයුරුවල තත්ත්වය ස්වයං-රෝග විනිශ්චය කරන ලෙස තමයි අපි සියලුම කාන්තාවන්ට උපදෙස් ලබා දෙන්නේ. ඔවුන්ගේ මාසික ඔසප් වීම් කාලයෙන් පසු දින 7-10 ක් ගත වූ පසුව ඔවුන්ට එසේ ස්වයං පරීක්ෂාවක් සිදුකරගන්නට හැකියාව තිබෙනවා. මෙහිදී ඔවුන් කැඩපතක් ඉදිරිපිට තම පියයුරු නිරීක්ෂණය කළ යුතු අතර, මතුපිට යම් වෙනස්කම්, තන පුඩුවෙන් අසාමාන්‍ය ශ්රාවයක් පිටවීම හෝ පියයුරු පිළිකා වලට අදාල වෙනත් ලක්ෂණ දැනෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.
මේ සඳහා සායනික රෝග විනිශ්චය කිරීමේ විකල්පය ද තිබෙන අතර එහිදී වෘත්තීයවේදියෙකු කාන්තාවගේ පියයුරු පරීක්ෂා කරනු ලබනවා. වයස අවුරුදු 20-39 අතර කාන්තාවන් අවම වශයෙන් සෑම වසර 1-3 කට වරක් මෙම සායනික පරීක්ෂණය සිදු කළ යුතු අතර වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් අවම වශයෙන් වසරකට වරක්වත් මෙම සායනික පරීක්ෂණය සිදු කළ යුතුයි. පියයුරු පිළිකා ඇතිවීමේ සාමාන්‍ය අවදානමක් ඇති කාන්තාවන්ට මේ සියල්ල අදාළ වෙනවා.
එසේ වුවද, මීට පෙර පියයුරු පිළිකාවට ගොදුරු වූ තම මවගේ, සහෝදරියගේ හෝ සමීපතම ඥාතියෙකුගේ ඉතිහාසය නිසා පියයුරු පිළිකා වැළඳීමේ වැඩි සම්භාවිතාවක් ඇති කාන්තාවන් සිටින්න පුළුවන්. අප ඔවුන්ව පියයුරු පිළිකා වැළඳීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති පුද්ගලයින් ලෙස සලකන අතර, අවදානම පිළිබඳ නිසි තක්සේරුවක් හරහා අපට ඔවුන්ට වයස අවුරුදු40 ට පෙර පවා මැමෝග්රෑම් පරීක්ෂණය නියම කරන්න හැකියාව තිබෙනවා. වයස අවුරුදු 40 ට අඩු අයට පරීක්ෂණයේ සංවේදීතාව ක්‍රමයෙන් අඩු වන බැවින් අපි වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන්ට මැමෝග්‍රැෆි නිර්දේශ නොකරන බව ද දැන සිටිය යුතුයි. ඔවුන් සඳහා අපි අල්ට්රා සවුන්ඩ් ස්කෑන් සහ පියයුරු සඳහා MRI ස්කෑන් පරීක්ෂණ පවත්වනවා. අපට සැකයක් ඇත්නම්, අපි කුඩා සාම්පලයක් ගෙන එය පිළිකාකාරී තත්ත්වයක් දැයි නිවැරදිව හඳුනා ගන්නවා. පිළිකා රෝගයක් බවට සනාථ වූ අවස්ථාවක, විශේෂයෙන්ම PET-CT ස්කෑන් මගින් එය ශරීරයේ සෙසු ප්‍රදේශවලට කිසියම් ආකාරයකින් පැතිරී ඇත්දැයි අප ඉක්මනින් පරීක්ෂා කරනවා. දැනට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ඇත්තේ PET-CT ස්කෑන් යන්ත්‍ර එක බැගින් පමණක් බැවින් මෙයද සිදු කළ හැක්කේ ඉතා සීමිත සංඛ්‍යාවකට පමණයි.
පියයුරු පිළිකා රෝගියාගේ වාර්ථාව මත හොඳම ප්‍රතිකාරය තීරණය කිරීම සඳහා අපි CT ස්කෑන් සහ අස්ථි ස්කෑන් පරීක්ෂණ සිදුකරනවා. පිළිකාව ඒ වන විට දුරස්ථ අවයව වලට පැතිරී නොමැති නම් අප විසින් ශල්‍යකර්ම නිර්දේශ කරනු ලබනවා. එය මුල් අවධියේ නම්, පියයුරු සම්පූර්ණයෙන්ම ඉවත් නොකර පිළිකාව පමණක් ඉවත් කිරීමට අපට හැකියාව තිබෙනවා. එය පියයුරු සංරක්ෂණ ශල්‍යකර්මය ලෙස හඳුන්වනවා. එවැනි ශල්‍යකර්මයකින් පසුව අප එම පියයුරු සඳහා විකිරණ චිකිත්සාව සිදුකරනවා. කෙසේ වෙතත්, පිළිකාව පියයුරු හා සසඳන විට ඉතා විශාල නම්, අපට පියයුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කිරීමට සිදුවනවා. කෙසේ වෙතත් මේ වන විට කෘතිමව හෝ ඔවුන්ගේම පටක භාවිතයෙන් පියයුරු ප්‍රතිනිර්මාණය කිරීමට ක්‍රම තිබෙනවා.
මේ සියල්ලෙන් පසු සිදු කරන ලද සියලුම පරීක්ෂණ සහ අදාළ වාර්තා සැලකිල්ලට ගනිමින්, එම පිළිකාව ශරීරයේ සෙසු ප්‍රදේශවලට පැතිරී ඇති බවට කිසිදු සලකුණක් තිබුණේ නැති වුණත්, එය අන්වීක්ෂීයව ශරීර අභ්‍යන්තරයට පැතිරීමේ හැකියාවක් ඇති බවට අප නිගමනය කළහොත්, අප තවත් ප්‍රතිකාර නිර්දේශ කරනු ලබනවා. රසායනික චිකිත්සාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර, පිළිකා සඳහා ඉලක්කගත ප්‍රතිකාර, හෝමෝන ප්‍රතිකාර සහ තවත් බොහෝ ප්‍රතිකාර එවැනි ප්‍රතිකාර වලට අයත් වෙනවා. මෙම ප්‍රතිකාර ලබාගෙන සාමන්‍ය කාන්තාවක් ලෙස දිගු සහ නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාවන්ත වූ කාන්තාවන් පිළිබඳ විස්තර තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම පිළිකාව ශරීරය පුරා පැතිර ගිය කාන්තාවන් ද අපට හමුවෙනවා. සම්මත වෛද්‍ය ක්‍රම හරහා, මෙම කාන්තාවන්ට දිගු, නිරෝගී ජීවිතයක් ලබා දීමට අපට හැකියාව තිබෙනවා. මෙම සම්මත ක්‍රියා පටිපාටිවලට අමතරව, Palliative Care ලෙස හඳුන්වන ඉතා වැදගත් ප්‍රතිකාර ක්‍රමයක් ද තිබෙනවා. එය මරණ මංචකයේ සිටින මිනිසුන්ට ලබාදෙන ප්රතිකරයක් යැයි බරපතළ වැරදි මතයක් තිබෙනවා. මෙම Palliative Care ප්‍රතිකාරය පිළිකාවක් හදුනාගත් විට ඒ සඳහා සිදුකරන ප්‍රතිකාර සමග ආරම්භ කළ යුතුයි. ජීවිතයේ අවසාන බාගයේ සිටින පුද්ගලයින්ට මෙම සත්කාරයේ බලපෑම මිල කළ නොහැකි දෙයක් වන අතර විශේෂයෙන් සුව කළ නොහැකි පිළිකා තත්ත්වයක සිටින කෙනෙකුට, එවැනි සහන සත්කාර නොමැතිව එයට මුහුණ දීමට සිදුවීම වේදනාකාරී අත්දැකීමක්. ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පවා විඳින කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය දුක් වේදනාවලට මෙම සත්කාරය මගින් බොහෝ ප්‍රයෝජන ලබා ගන්න හැකියාව තිබෙනවා.
පියයුරු පිළිකා අවදානමට ඔබේ මව, සහෝදරිය, ආච්චි හෝ ඔබට සමීප කෙනෙකු ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව ඉගෙන ගැනීම සහ දැනුවත් වීම වැදගත් වනවා. කාන්තාවන් තම පියයුරු ගැන අවධානයෙන් සිටින්නේ නම් සහ නිරන්තර පරීක්ෂණ සිදුකරනවා නම්, පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම වලක්වා ගන්න ඔවුන්ට හැකියාව තිබෙනවා.