Category

සෞඛ්‍ය

Category

පියයුරු පිළිකා යනු ලෝකයේ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයක්. මේ හේතුවෙන් ජීවිත අහිමි වන කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. ලෝකයේ සිදුවන මරණ සංඛ්‍යාව සැලකූ විට පිළිකා මරණ 5 වැනි ස්ථානය ගන්නා අතර විශේෂයෙන්ම පියයුරු පිළිකා හේතුවෙන් එම මරණ සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලූවිට, එය ලෝකයේ සෙසු රටවල ඇති තත්ත්වයන්‍ට බෙහෙවින් සමාන වෙනවා. දිනකට කාන්තාවන් 12 දෙනෙකු පමණ පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට වාර්තා වන අතර සෑම දිනකම කාන්තාවන් 2 දෙනෙකුට මේ හේතුවෙන් ජීවිතය අහිමි වෙනවා. අවාසනාවකට, පියයුරු පිළිකා හා සම්බන්ධ පිළිකා වර්ගය වළක්වා ගත හැකි දෙයක් නොවෙයි. 

එසේ නම්, මේ සම්බන්ධයෙන් අපට මොකක්ද කරන්න පුළුවන්?

පියයුරු පිළිකාවක් ඇති බවට පෙන්වන  බාහිර ලක්ෂණ වලට පෙර පියයුරු පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමට අපට හැකි නම්, එය සම්පූර්ණයෙන්ම සුව කිරීමට අපට හැකියාව තිබෙනවා. 1980 දශකය දක්වා, පියයුරු පිළිකා සඳහා වූ ප්‍රතිකාරවල ගුණාත්මක භාවයේ සැලකිය යුතු දියුණුවක් දක්නට තිබුණේ නැහැ. එයින් අදහස් කරන්නේ සුව කිරීමට උත්සාහ කළ තරමට, රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හෝ සම්පූර්ණයෙන් පිළිකාව සුව කිරීමට ක්‍රමයක් නොතිබුණු බවයි. කෙසේ වෙතත්, පසුව පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා ක්‍රම වැඩිදියුණු කළ පසු, සුව කිරීමේ වේගය සැලකිය යුතු ලෙස වැඩි වුණා. මෙහි විශාලතම කාර්යභාරය වූයේ මැමෝග්‍රැෆි පරීක්ෂාව හඳුන්වා දීමයි. මෙයින් පසු, කාන්තාවන්ට තම පියයුරු වල කිසියම් වෙනස් වීමක් නිරීක්ෂණය කිරීමට හෝ දැනීමට පෙර වගේම පිළිකාවේ ආරම්භක අවධියේදීම පවා පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණා. සම්මත ප්‍රතිකාර ක්‍රම මගින් සම්පූර්ණයෙන්ම පිළිකාව සුව කිරීමට මෙමගින් හැකි වුණා. මෙයින් අපට සම්පූර්ණ පියයුරු ඉවත් කිරීම හෝ රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාර සඳහා යාම වළක්වා ගන්න හැකියාව තිබෙනවා.

මැමෝග්‍රැෆි සිදු කළ යුත්තේ කුමන වයසේ කාන්තාවන්ද?

වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් මෙම පරීක්ෂණය වාර්ෂිකව හෝ ලංකාවේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය පරිදි අවම වශයෙන් සෑම වසර 2 කට වරක්වත් කළ යුතුයි. නමුත් ශ්‍රී ලංකාවට එම වරප්‍රසාදය තවමත් ලැබී නැහැ.

එසේ නම් අපි කුමක්ද සිදුකළ යුත්තේ?

මැමෝග්‍රැෆි තරම් ප්‍රතිඵලදායක නොවූවත්, වයස අවුරුදු 20ට වැඩි නම් තම පියයුරුවල තත්ත්වය ස්වයං-රෝග විනිශ්චය කරන ලෙස තමයි අපි සියලුම කාන්තාවන්ට උපදෙස් ලබා දෙන්නේ. ඔවුන්ගේ මාසික ඔසප් වීම් කාලයෙන් පසු දින 7-10 ක් ගත වූ පසුව ඔවුන්ට එසේ ස්වයං පරීක්ෂාවක් සිදුකරගන්නට හැකියාව තිබෙනවා. මෙහිදී ඔවුන් කැඩපතක් ඉදිරිපිට තම පියයුරු නිරීක්ෂණය කළ යුතු අතර, මතුපිට යම් වෙනස්කම්, තන පුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවීම හෝ පියයුරු පිළිකා වලට අදාල වෙනත් ලක්ෂණ දැනෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

මේ සඳහා සායනික රෝග විනිශ්චය කිරීමේ විකල්පය ද තිබෙන අතර එහිදී වෘත්තීයවේදියෙකු කාන්තාවගේ පියයුරු පරීක්ෂා කරනු ලබනවා. වයස අවුරුදු 20-39 අතර කාන්තාවන් අවම වශයෙන් සෑම වසර 1-3 කට වරක් මෙම සායනික පරීක්ෂණය සිදු කළ යුතු අතර වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් අවම වශයෙන් වසරකට වරක්වත් මෙම සායනික පරීක්ෂණය සිදු කළ යුතුයි. පියයුරු පිළිකා ඇතිවීමේ සාමාන්‍ය අවදානමක් ඇති කාන්තාවන්ට මේ සියල්ල අදාළ වෙනවා. 

එසේ වුවද, මීට පෙර පියයුරු පිළිකාවට ගොදුරු වූ තම මවගේ, සහෝදරියගේ හෝ සමීපතම ඥාතියෙකුගේ ඉතිහාසය නිසා පියයුරු පිළිකා වැළඳීමේ වැඩි සම්භාවිතාවක් ඇති කාන්තාවන් සිටින්න පුළුවන්. අප ඔවුන්ව පියයුරු පිළිකා වැළඳීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති පුද්ගලයින් ලෙස සලකන අතර, අවදානම පිළිබඳ නිසි තක්සේරුවක් හරහා අපට  ඔවුන්ට වයස අවුරුදු40 ට පෙර පවා මැමෝග්‍රෑම් පරීක්ෂණය නියම කරන්න හැකියාව තිබෙනවා. වයස අවුරුදු 40 ට අඩු අයට පරීක්ෂණයේ සංවේදීතාව ක්‍රමයෙන් අඩු වන බැවින් අපි වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන්ට මැමෝග්‍රැෆි නිර්දේශ නොකරන බව ද දැන සිටිය යුතුයි.  ඔවුන් සඳහා අපි අල්ට්රා සවුන්ඩ් ස්කෑන් සහ පියයුරු සඳහා MRI ස්කෑන් පරීක්ෂණ පවත්වනවා. අපට සැකයක් ඇත්නම්, අපි කුඩා සාම්පලයක් ගෙන එය පිළිකාකාරී තත්ත්වයක් දැයි නිවැරදිව හඳුනා ගන්නවා. පිළිකා රෝගයක් බවට සනාථ වූ අවස්ථාවක, විශේෂයෙන්ම PET-CT ස්කෑන් මගින් එය ශරීරයේ සෙසු ප්‍රදේශවලට කිසියම් ආකාරයකින් පැතිරී ඇත්දැයි අප ඉක්මනින් පරීක්ෂා කරනවා. දැනට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ඇත්තේ PET-CT ස්කෑන්  යන්ත්‍ර එක බැගින් පමණක් බැවින් මෙයද සිදු කළ හැක්කේ ඉතා සීමිත සංඛ්‍යාවකට පමණයි.

පියයුරු පිළිකා රෝගියාගේ වාර්ථාව මත හොඳම ප්‍රතිකාරය තීරණය කිරීම සඳහා අපි CT ස්කෑන් සහ අස්ථි ස්කෑන් පරීක්‍ෂණ සිදුකරනවා. පිළිකාව ඒ වන විට දුරස්ථ අවයව වලට පැතිරී නොමැති නම් අප විසින් ශල්‍යකර්ම නිර්දේශ කරනු ලබනවා. එය මුල් අවධියේ නම්, පියයුරු සම්පූර්ණයෙන්ම ඉවත් නොකර පිළිකාව පමණක් ඉවත් කිරීමට අපට හැකියාව තිබෙනවා. එය පියයුරු සංරක්ෂණ ශල්‍යකර්මය ලෙස හඳුන්වනවා. එවැනි ශල්‍යකර්මයකින් පසුව අප එම පියයුරු සඳහා විකිරණ චිකිත්සාව සිදුකරනවා. කෙසේ වෙතත්, පිළිකාව පියයුරු හා සසඳන විට ඉතා විශාල නම්, අපට පියයුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කිරීමට සිදුවනවා. කෙසේ වෙතත් මේ වන විට කෘතිමව හෝ ඔවුන්ගේම පටක භාවිතයෙන් පියයුරු ප්‍රතිනිර්මාණය කිරීමට ක්‍රම තිබෙනවා.

මේ සියල්ලෙන් පසු සිදු කරන ලද සියලුම පරීක්ෂණ සහ අදාළ වාර්තා සැලකිල්ලට ගනිමින්, එම පිළිකාව ශරීරයේ සෙසු ප්‍රදේශවලට පැතිරී ඇති බවට කිසිදු සලකුණක් තිබුණේ නැති වුණත්, එය අන්වීක්ෂීයව ශරීර අභ්‍යන්තරයට පැතිරීමේ හැකියාවක් ඇති බවට අප නිගමනය කළහොත්, අප තවත් ප්‍රතිකාර නිර්දේශ කරනු ලබනවා. රසායනික චිකිත්සාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර, පිළිකා සඳහා ඉලක්කගත ප්‍රතිකාර, හෝමෝන ප්‍රතිකාර සහ තවත් බොහෝ ප්‍රතිකාර එවැනි  ප්‍රතිකාර වලට අයත් වෙනවා. මෙම ප්‍රතිකාර ලබාගෙන සාමන්‍ය කාන්තාවක් ලෙස දිගු සහ නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාවන්ත වූ කාන්තාවන් පිළිබඳ විස්තර  තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම පිළිකාව ශරීරය පුරා පැතිර ගිය කාන්තාවන් ද අපට හමුවෙනවා. සම්මත වෛද්‍ය ක්‍රම හරහා, මෙම කාන්තාවන්ට දිගු, නිරෝගී ජීවිතයක් ලබා දීමට අපට හැකියාව තිබෙනවා. මෙම සම්මත ක්‍රියා පටිපාටිවලට අමතරව, Palliative Care ලෙස හඳුන්වන ඉතා වැදගත් ප්‍රතිකාර ක්‍රමයක් ද තිබෙනවා. එය මරණ මංචකයේ සිටින මිනිසුන්ට ලබාදෙන ප්‍රතිකරයක්  යැයි බරපතළ වැරදි මතයක් තිබෙනවා. මෙම Palliative Care ප්‍රතිකාරය පිළිකාවක් හදුනාගත් විට ඒ සඳහා සිදුකරන ප්‍රතිකාර සමග ආරම්භ කළ යුතුයි.  ජීවිතයේ අවසාන බාගයේ සිටින පුද්ගලයින්ට මෙම සත්කාරයේ බලපෑම මිල කළ නොහැකි දෙයක් වන අතර විශේෂයෙන් සුව කළ නොහැකි පිළිකා තත්ත්වයක සිටින කෙනෙකුට, එවැනි සහන සත්කාර නොමැතිව එයට මුහුණ  දීමට සිදුවීම වේදනාකාරී අත්දැකීමක්. ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පවා විඳින කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය දුක් වේදනාවලට මෙම සත්කාරය මගින් බොහෝ ප්‍රයෝජන ලබා ගන්න හැකියාව තිබෙනවා.

පියයුරු පිළිකා අවදානමට ඔබේ මව, සහෝදරිය, ආච්චි හෝ ඔබට සමීප කෙනෙකු ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව ඉගෙන ගැනීම සහ දැනුවත් වීම වැදගත් වනවා. කාන්තාවන් තම පියයුරු ගැන අවධානයෙන් සිටින්නේ නම් සහ නිරන්තර පරීක්ෂණ සිදුකරනවා නම්, පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම වලක්වා ගන්න ඔවුන්ට හැකියාව තිබෙනවා.

වෛද්‍ය ශාමා ගුණතිලක
MBBS (කොළඹ) MD (කොළඹ) SLMC ලියාපදිංචි අංක 17334,
උපදේශක සායනික ඔන්කොලොජි
සායනික අංශයේ ප්‍රධානී
ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානය

දියවැඩියාව මිනිසුන් අත්දකින්න සහ කතා කරන්නවත් අකමැති රෝගී තත්ත්වයක්. කොහොම නමුත් මේ රෝගයට ගොදුරුවූවන් සාර්ථකව එය මැඩපවත්වා ගත්ත කතා තුනක් අද මම ඔබට කියන්නම්. ඉතින් අපි බලමු ඒ අත්දැකීම් වලින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා.

මම මුලින්ම කතා කරන්න කැමති තමන්ට දියවැඩියා රෝගය තිබෙන බව සුළු මොහොතකට පෙර හඳුනාගත් අවුරුදු 28 පිරිමි රෝගියෙකු ගැන. ඔබට දියවැඩියාව හෝ ඇතැමුන් සඳහන් කරන පරිදි “සීනි” තිබේ නම්, නොයෙකුත් ප්‍රතිකාර ලබාගන්නා අතරතුර ඔබට ඔබේ මුළු ජීවිත කාලයේම එයට මුහුණ දීමට සිදුවන බව බොහෝ දෙනා දන්නා කරණයක්. ඉතින් මෙම රෝගියාට ඇත්තටම  අවශ්‍ය වුනේ දියවැඩියා රෝගයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට. ඔහුට ඔහුගේ ජීවිත කාලය පුරාම දියවැඩියාවට බෙහෙත් ගැනීමට අවශ්‍ය වුනේ නැහැ. දියවැඩියා රෝගයට බෙහෙත් බොන්නට අවශ්‍ය නැති තැනට පැමිණීම අපි හඳුන්වන්නේ “දියවැඩියාව සමනය කිරීම” ලෙසයි. ඔහුට අවුරුදු ගාණක් බෙහෙත් බොන්නට සිදුවන්නේ නැති ජීවිතයක් අවශ්‍යය වුණ නිසා අපි ඒකට සැලැස්මක් හැදුවා. දියවැඩියාවෙන් මිදීමේ ක්‍රම සහ විදි තියෙනවා. ඒවා හැම පුද්ගලයෙකුටම නොගැලපුනත් සමහරුන්ට දියවැඩියාව සමනය කිරීමට ඒවායින් ප්‍රයෝජන ගත හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් රෝගයේ මුල් අවධියේ සිටින පුද්ගලයින්ට දියවැඩියාව සමනය කිරීමේ සැලැස්මකට යාමට හැකියාව තිබෙනවා.

අපි මුලින්ම බර අඩුකර ගැනීමට අවධානය යොමු කළා. දෙවනුව ව්‍යායාමය  සහ ආහාර පරිභෝජනය වැනි ජීවන රටාවේ වෙනස් කිරීම් සිදුකලා. අවසාන වශයෙන්, අපි රුධිරයේ සීනි මට්ටම ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කළා. අපි ගොඩනගපු සැලැස්ම තමයි ඒ. ඉතින් අපි ඒ අනුව වැඩකරන්න පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් බර අඩුකර ගැනීම සඳහා ඔහුට ඔහුගේ ආහාර රටාවේ වෙනසක් අවශ්‍ය වුණා. ඔහු කැමති දේ මත පදනම්ව මම ඒ සඳහා සුදුසු ආහාර සැලැස්මක් නිර්මාණය කළා. සෑම කෙනෙකුටම ව්‍යායාම අවශ්‍යයි. ඒ නිසා අපි ඔහුගේ ජීවන රටාවට ව්‍යායාම කිහිපයක් ඇතුළත් කිරීමට උත්සාහ කළා.  ඇවිදීම වැනි ක්‍රියාකාරකම් හරහා දිනකට පැය 1 ක් ව්‍යායාම කිරීමට ඔහු ක්‍රමක්‍රමයෙන් පුරුදු වුණා. බර අඩු කර ගැනීමටත් අපි ඖෂධ භාවිතා කිරීමට පටන් ගත්තා. විශේෂයෙන්ම, Empagliflozin, SGLT2 inhibitor සහ Victoza injection, GLP receptor blocker යන දෙකම ඒ සඳහා භාවිතා කළා.

මේ දේවල් එක්ක දියවැඩියා රෝගය සමනය කර ගැනීමටත්, දියවැඩියාව සඳහා බෙහෙත් නොබී ජීවත්වීමේ හැකියාව ලබා ගැනීමටත් ඔහුට හැකිවුණා. විශේෂයෙන්ම දියවැඩියා රෝගයේ මුල් අවධියේදී සිරුරේ බර අඩු කරගත් පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටමේ අඩු වීමක් සිදු වන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන බව අපි දන්නා කාරණයක්. ඔහුගේ HbA1c පරීක්ෂණ වලින් සාමාන්‍ය ප්‍රතිඵල පෙන්නුම් කරන අතර, ඔහුට මෙම තත්ත්වය පවත්වා ගනිමින් අවුරුදු 10, 15, හෝ 20ක් ජීවත් වීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔහුට මීට පෙර දියවැඩියා රෝගය තිබූ නමුත් දැන් එය එසේ නොවෙයි. ඔහු නව ජීවන රටාව හා වෙනස්කම් වලට අනුකූල නම්, ඔහුට දියවැඩියාව සමනය වූ තත්ත්වය තුළ රැඳී සිටින්න හැකියාව තිබෙනවා. 

මා සතුව ඇති දෙවන කතාව අවුරුදු 10 ක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙන නමුත් එම රෝගයේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු ගැනයි. තවදුරටත් රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයේ සිටියහොත් ඔවුන්ගේ ශරීරයට කුමක් සිදුවේද යන්න ගැන එම රෝගියා කනස්සල්ලට පත්ව සිටියා. ඔවුන් සමඟ ගොඩ නැගූ  සැලැස්ම පිළිබඳව මම ඔබට විස්තර කරන්නම්. දියවැඩියා රෝගය සුව කළ නොහැකි බවත් කිහිප දෙනෙකු සුව වුණත් සමහරුන් එය සමඟ ජීවත් වීමට පුරුදු විය යුතු බවත් අපි කියනවා. සාමාන්‍යයෙන් අවුරුදු 45ක කෙනෙක්ට හෘදයාබාධ, ආඝාතය, වකුගඩු ආබාධ, අක්ෂි ආබාධ එනම් දෘෂ්ටි විතානයේ ඇතිවෙන හානි, ස්නායු රෝග, හෝ තුවාල සුව වීමට  බලපාන සහ පාදයක් කපා දැමීමට පවා තුඩු දෙන කකුල් වලට ඇතිවෙන රුධිර ප්‍රවාහයේ ගැටළු වැනි සංකූලතාවලට මුහුණ නොදී අවුරුදු 85ක් දක්වා ජීවත් වීමට අවශ්‍ය දේ අපි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම සුවපහසු ලෙස ජීවත් වීමට අවශ්‍ය දේ ගැන මම ඔවුන් සමඟ සාකච්ඡා කළා.

නව වාහන නඩත්තු කිරීමේ තාක්ෂණය නිරීක්ෂණය කරන ලෙස මම ඔවුන්ට පැවසුවා. මීට පෙර තාක්ෂණය පදනම් වී තිබුනේ වාහනය අලුත්වැඩියා කිරීම මත මිස එය සර්විස් කිරීම මත නෙවෙයි. ඉතින් ගමන මැද වාහනයක් කැඩුනම ගරාජ් එකට ගෙනියනවා. නමුත් දැන් අපි වාහනය කැඩෙන එක වළක්වා ගන්න එය සර්විස් කරලා නඩත්තු කරනවා. දියවැඩියාව සඳහා අප භාවිතා කරන න්‍යාය එයයි. සෑම මාස 3 කට වරක්, අපි වාහනයක ෆිල්ටර පරීක්ෂා කරන ආකාරයටම රුධිරයේ සීනි මට්ටමට අදාළ අවදානම් තත්ත්වයන් පරීක්ෂා කර තක්සේරු කරනු ලබනවා. මෙම පරීක්ෂාවන් වලදී, අපි ඇස්, කකුලේ ස්නායු, වකුගඩු, හෘදයාබාධ ඇති කළ හැකි කොලෙස්ටරෝල් මට්ටම් සහ වෙනත් අවදානම් සාධක පරීක්ෂා කිරීමට වග බලා ගන්නවා. ඖෂධ ලබා ගන්නා අතර  එවැනි සංකූලතා වළක්වා ගනිමින් වසර 85 ක් දක්වා ජීවත් විය හැකි ජීවිතයක් ගැන මම ඔවුන්ට විස්තර කළා.

මෙම නව තාක්ෂණයේ ධනාත්මක පැත්ත එයයි. දියවැඩියාව නිසා ඉන්ද්‍රියන් වලට ඇතිවෙන හානිවලට ප්‍රතිකාර කිරීමට සහ එවා වැළැක්වීම සඳහා නව ක්‍රම අප සතුව තිබෙනවා. බොහෝ දෙනෙක් ජාත්‍යන්තරව පවා මෙම සංකල්පය භාවිතා කරනවා. ඒ කියන්නේ ගැටලුව ඇති වන තෙක් බලා නොසිට එය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමයි. මම දේශපාලනය ගැන කතා කිරීමට කැමති නෙවෙයි, නමුත් ඔබට ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වයෙන් ඉගෙන ගත හැකි කරුණු කිහිපයක් තිබෙනවා. ඔබ ශ්‍රී ලංකාව පිළිබඳව නිරීක්ෂණය කළොත් ඔබට පෙනේවී ගැටලු පැනනඟින විට අපි ඒවා විසඳන්න කටයුතු කලත් ඒවා වළක්වා ගැනීමට අපි ක්‍රියා කරන්නේ කලාතුරකින් බව. දියවැඩියාව පිළිබඳ අපි කටයුතු කරන්නේ එසේ නොවෙයි. වසර 40ක් පුරාවට මෙය ගැටලුවකින් තොරව ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව එනම් අපට එය හරියටම කළ හැක්කේ කෙසේද සහ ඉදිරි වසර කිහිපය තුළ කිසිදු සංකූලතාවයකට මුහුණ නොදීමට හොඳම සැලැස්ම නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව  අපට අවබෝධයක් තිබිය යුතුයි.

තුන්වන කතාව වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියෙකු ගැන යි. මෙම තත්ත්වය ඇතිවන්නේ ඔවුන් දියවැඩියාව, රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය නොකර ජීවත් වීමෙන්. මෙම වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න බෙහෙත් නිසා ඇති වන බවට වැරදි වැටහීමක් මිනිසුන් තුළ තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම එය දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයක්. ඒ හා සමාන තත්ත්වයන් ඇති බොහෝ දෙනෙකුට අපි පැවසුවේ මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැති බවත් අවසානයේ ඔවුන්ට ඩයලිසිස් හෝ වකුගඩු බද්ධ කිරීමට සිදුවනු ඇති බවත්ය. කොහොම වුණත්, නව තාක්ෂණය සමඟ අපි දැන් කරන්නේ එය නෙවෙයි. ඉහත අප සාකච්ඡා කළා වගේම  දියවැඩියාව සමනය කිරීමට මෙන්ම, දියවැඩියාව නිසා ඇතිවෙන වකුගඩු රෝග සමනය කිරීමට ද හැකියාව තිබෙනවා.

මෙම රෝගියා සඳහා,  ඔව් අපට මාර්ගයක් තිබෙන බව මම පැවසුවා. එහිදී පළමුව අපි මූලික අවදානම් සාධක හඳුනාගෙන ඒවා අවම කරගැනීමට කටයුතු කළා. අප සතුව ඇති නව ඖෂධ රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා පමණක් නෙවෙයි වකුගඩු වලට ද ධනාත්මක බලපෑමක් ඇති කරනවා. අප සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයට භාවිත කරන ඖෂධවලින් වකුගඩුවලට හානි සිදුවන බව බොහෝ දෙනාගේ අවධානයට යොමු වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා අපි වකුගඩුවලටත් හිතකර ඖෂධ භාවිතා කරනවා. ඒ වගේම අධි රුධිර පීඩනය සඳහාත් අප නිර්දේශ කරනු ලබන්නේ රෝගියාගේ වකුගඩු වලට ධනාත්මක බලපෑමක් ඇතිකරන ඖෂධයි. එම රෝගීන්ට බෙහෙත් වර්ග 7,8ක් පමණ ගන්න සිදු වුණත් වකුගඩුවලට අවම බලපෑමක් සිදුවන පරිදි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

සාමාන්‍යයෙන්, කාලය ගතවීමත් සමග වකුගඩු දුර්වල වන බව අපි අසා ඇති නමුත් මෙම නව ඖෂධ වර්ග වකුගඩු වල සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කරන බව  නව පර්යේෂණ හරහා අප නිරීක්ෂණය කළා. මම මගේ රෝගීන්ට කියන්නේ ඔවුන් වයසට ගියත්, ඔවුන්ගේ වකුගඩු තරුණ බවයි. රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා, දියවැඩියාව නිසා ඇතිවෙන වකුගඩු රෝගය සමනය කර තත්ත්වය යහපත් අතට හරවන්න අපට පුළුවන්.

මේ කතා තුන හරහා මට කියන්නට අවශ්‍ය වන්නේ දියවැඩියාව යනු ඔබ බිය විය යුතු දෙයක් නොවන බවයි. සුභ ආරංචිය නම් පාලනයක් නොමැති පුද්ගලයින්ට එය පාලනය කර ගැනීමටත්, දියවැඩියා රෝගීන්ට දියවැඩියාව සමනය කිරීමේ ක්‍රමයකට යාමටත්, අවයව හානි වූ පුද්ගලයින්ට සාමාන්‍ය සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට සැලැස්මක් සකස් කිරීමටත් ඒ වගේම මෙම රෝගී තත්ත්වය  සමග දීර්ඝකාලයක් ජීවත් වෙන්න සිදුවන පුද්ගලයෙකුට අපහසුවකින් තොරව ඒ ගමන යන්නටත් අපට කටයුතු කල හැකි බවයි.

MBBS MD FRCP, උපදේශක අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම්.