Category

විශේෂාංග

Category

චර්ම රෝග විශේෂඥයින් ලෙස අපට බොහෝ ලෙස අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නයක් තමයි හිස පීරනකොට විශාල ලෙස හිසකෙස් ගැලවීයාම, නාන කාමරයේ බිම හිසකෙස් වැටී තිබීම එහෙමත් නැත්තම් නිදාගෙන නැගිටින විට හිස තැබූ කොට්ටයේ හිසකෙස් ගැලවී වැටී තිබීම.

ඔබත් මේ තත්ත්වයට මුහුණ දෙන මෙයට හේතුව කුමක්ද යන්න ගැන සැලකිලිමත් වන අයෙක්ද?

මේ ඔබ ඒ පිළිබඳව දැනගත යුතු දේවල්…

පළමුව, අපි මෙම සංසිද්ධිය “හිසකෙස් ගැලවීයාම”  ලෙස හඳුන්වනවා. දිනකට හිසකෙස් 50 – 150 ක් ගැලවීයාම  සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ කරදර වියයුතු නැහැ. සෑම කෙස් ගසක්ම අවුරුදු 3ත් 5ත් අතර කාලයකදී ගැලවී යන අතර එයට අදාළව නැවත එම ස්ථානයේම නව කෙස්ගසක් වර්ධනය වනවා. එහිදී කොණ්ඩයේ ඝනත්වය වෙනස් වෙන්නෙ නැහැ.

වයස අවුරුදු 25 න් පසු, පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිසෙහි හිසකෙස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය හේතුවෙන් වයස අවුරුදු 20 – 40 අතර කාලය තුළ ඔවුන්ගේ හිසකෙස්වල ඝනකම තරමක් වැඩි වන්න පුළුවන්. 40 න් පසු, ඔවුන්ගේ ද හිසකෙස් ප්‍රමාණය හා හිසකෙස් වල ඝනත්වය අඩු වීමකට ලක්වෙනවා.

සමහර රෝගාබාධ නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් අධික ලෙස හිසකෙස් ගැලවී යාම ඔබ දැක තිබෙනවා ඇති. සාමාන්‍යයෙන් එලෙස ඇතිවන තත්ත්වයක් වන්නේ, විශේෂයෙන් අධික ලෙස ඔසප් වන තරුණියන් අත්විඳින, යකඩ ඌනතාවයි. ඒ බව හඳුනාගෙන එම ඌනතාවය සඳහා ප්‍රතිකාර කිරීම නිරෝගී හිසකෙස් වර්ධනයට හේතුවෙනවා.

යකඩ හා සමානව, හිසකෙස් වර්ධනය සඳහා විටමින් D සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා. ඔබ දන්නවා ඇති අපි හිරු එළියට නිරාවරණය වන විට අපේ සමෙන් විටමින් D නිපදවන බව. අපි හිරු එළිය බහුලව අත්විඳින නමුත් අපේ රටේ සහ අපේ රට හා සමාන රටවල මිනිසුන් විටමින් D ඌනතාවයට ගොදුරු වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. එය හිසකෙස් අඩුවීමට හේතු වෙනවා.

සමහර අවස්ථාවලදී, මන්දතයිරොයිඩතාව සහ අධි තයිරොයිඩතාව වැනි රෝග (අඩු ක්‍රියාකාරී හෝ අධි ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක්, පිළිවෙලින් තයිරොයිඩ් හෝමෝනය අඩු හෝ වැඩි ප්‍රමාණයක් නිපදවීම) හේතුවෙන් ඔබේ හිසකෙස් වැටිය හැක. ඔබට එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, නිර්දේශිත හෝමෝන පරීක්ෂණ සිදුකර ගත යුතුය.

හිස්සොරි සහ එයට බෙහෙවින් සමාන seborrheic dermatitis යනු වඩාත් බහුලව දන්නා හිස්කබලේ ඇතිවෙන සංකූලතා දෙකකි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස හිස්කබලෙන් කුඩා පතුරු ගැලවී යන අතර එය හිසකෙස් වැටීමට හේතුවෙනවා. මෙම තත්ත්වයන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද සහ පිළිගත් හිස්සොරි ඉවත් කරන ෂැම්පු සතියකට කිහිප වතාවක් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්න.

ඔබේ හිසකෙස් මෝස්තර කිරීමට භාවිතා කරන රසායනික නිෂ්පාදන සහ  hair dryers, curlers සහ straighteners වැනි උණුසුම් මෙවලම් ‍යන්ත්‍ර ඔබේ හිසකෙස් දුර්වල කරන අතර ඉක්මනින් හිසකෙස් ගැලවී යාමට හේතු වෙනවා. විශේෂයෙන්, තෙත් හිසකෙස් මත ඉහළ තාප මට්ටමක් භාවිතා කිරීම “Bubble Hair Syndrome” ලෙස හඳුන්වන හිසකෙස් වල වායු බුබුළු නිර්මාණය වීමට හේතුවේ. එය ඔබේ හිසකෙස් වලට තවදුරටත් හානි ඇති කරයි.

ඔබ මුහුණ දෙන අතිවිශාල කායික හෝ මානසික ආතතිය ද ඔබේ හිසකෙස්වලට අහිතකර ලෙස බලපාන අතර අපි මෙය Telogen Effluvium ලෙස හඳුන්වනු ලබනවා. නිදසුනක් වශයෙන්, ඔබ කොවිඩ් හෝ ඩෙංගු උණ රෝගයෙන් පෙළුණු අයෙක් නම් හෝ දැඩි මානසික ආතතියකට ලක්ව සිටිය අයෙකුනම් මාස 2 – 3 කට පසු අධික ලෙස හිසකෙස් ගැලවී යාමක් ඔබට දැක ගත හැකිය. එය ඕනෑම ආකාරයක ශාරීරික හෝ මානසික ආතතියක් විය හැකිය. නමුත් ශුභාරංචිය නම් මාස කිහිපයකින් මේ සියල්ල යථා තත්ත්වයකට පත්වීමයි.

එපමණක් නොව, ඔබේ හෝමෝන සහ ජානවල සංයෝජනයෙන් ඇතිවන බලපෑම නිසා හිසකෙස් ගැලවී යාම ඇතිවන්න පුළුවන්. එය  Androgenetic Alopecia ලෙස හඳුන්වනු ලබයි. එය හිසකෙස් ගැලවී යාමේ සාමාන්‍ය ආකාරයක් වන අතර බහුලව පිරිමින් අතරද සමහර අවස්තාවන් වලදී කාන්තාවන් අතරද දක්නට ලැබේ.

අවසාන වශයෙන්,  ඔබේ හිසකෙස් අධික ලෙස වැටෙන බව හෝ එහි ඝණත්වය සීග්‍රයෙන් අඩුවන බව ඔබ සිතනවා නම්, ඔබ සුදුසු වෛද්‍යවරයෙකු හමුවී නිවැරදි රෝග විනිශ්චයක් සිදුකර ගැනීම වැදගත් වෙනවා.

ආචාර්ය දුලිනි ලියනගම
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය / MBBS, MD (Dermatology), MRCP (UK), SCE Derm MRCP

දියවැඩියාව මිනිසුන් අත්දකින්න සහ කතා කරන්නවත් අකමැති රෝගී තත්ත්වයක්. කොහොම නමුත් මේ රෝගයට ගොදුරුවූවන් සාර්ථකව එය මැඩපවත්වා ගත්ත කතා තුනක් අද මම ඔබට කියන්නම්. ඉතින් අපි බලමු ඒ අත්දැකීම් වලින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා.

මම මුලින්ම කතා කරන්න කැමති තමන්ට දියවැඩියා රෝගය තිබෙන බව සුළු මොහොතකට පෙර හඳුනාගත් අවුරුදු 28 පිරිමි රෝගියෙකු ගැන. ඔබට දියවැඩියාව හෝ ඇතැමුන් සඳහන් කරන පරිදි “සීනි” තිබේ නම්, නොයෙකුත් ප්‍රතිකාර ලබාගන්නා අතරතුර ඔබට ඔබේ මුළු ජීවිත කාලයේම එයට මුහුණ දීමට සිදුවන බව බොහෝ දෙනා දන්නා කරණයක්. ඉතින් මෙම රෝගියාට ඇත්තටම  අවශ්‍ය වුනේ දියවැඩියා රෝගයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට. ඔහුට ඔහුගේ ජීවිත කාලය පුරාම දියවැඩියාවට බෙහෙත් ගැනීමට අවශ්‍ය වුනේ නැහැ. දියවැඩියා රෝගයට බෙහෙත් බොන්නට අවශ්‍ය නැති තැනට පැමිණීම අපි හඳුන්වන්නේ “දියවැඩියාව සමනය කිරීම” ලෙසයි. ඔහුට අවුරුදු ගාණක් බෙහෙත් බොන්නට සිදුවන්නේ නැති ජීවිතයක් අවශ්‍යය වුණ නිසා අපි ඒකට සැලැස්මක් හැදුවා. දියවැඩියාවෙන් මිදීමේ ක්‍රම සහ විදි තියෙනවා. ඒවා හැම පුද්ගලයෙකුටම නොගැලපුනත් සමහරුන්ට දියවැඩියාව සමනය කිරීමට ඒවායින් ප්‍රයෝජන ගත හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් රෝගයේ මුල් අවධියේ සිටින පුද්ගලයින්ට දියවැඩියාව සමනය කිරීමේ සැලැස්මකට යාමට හැකියාව තිබෙනවා.

අපි මුලින්ම බර අඩුකර ගැනීමට අවධානය යොමු කළා. දෙවනුව ව්‍යායාමය  සහ ආහාර පරිභෝජනය වැනි ජීවන රටාවේ වෙනස් කිරීම් සිදුකලා. අවසාන වශයෙන්, අපි රුධිරයේ සීනි මට්ටම ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කළා. අපි ගොඩනගපු සැලැස්ම තමයි ඒ. ඉතින් අපි ඒ අනුව වැඩකරන්න පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් බර අඩුකර ගැනීම සඳහා ඔහුට ඔහුගේ ආහාර රටාවේ වෙනසක් අවශ්‍ය වුණා. ඔහු කැමති දේ මත පදනම්ව මම ඒ සඳහා සුදුසු ආහාර සැලැස්මක් නිර්මාණය කළා. සෑම කෙනෙකුටම ව්‍යායාම අවශ්‍යයි. ඒ නිසා අපි ඔහුගේ ජීවන රටාවට ව්‍යායාම කිහිපයක් ඇතුළත් කිරීමට උත්සාහ කළා.  ඇවිදීම වැනි ක්‍රියාකාරකම් හරහා දිනකට පැය 1 ක් ව්‍යායාම කිරීමට ඔහු ක්‍රමක්‍රමයෙන් පුරුදු වුණා. බර අඩු කර ගැනීමටත් අපි ඖෂධ භාවිතා කිරීමට පටන් ගත්තා. විශේෂයෙන්ම, Empagliflozin, SGLT2 inhibitor සහ Victoza injection, GLP receptor blocker යන දෙකම ඒ සඳහා භාවිතා කළා.

මේ දේවල් එක්ක දියවැඩියා රෝගය සමනය කර ගැනීමටත්, දියවැඩියාව සඳහා බෙහෙත් නොබී ජීවත්වීමේ හැකියාව ලබා ගැනීමටත් ඔහුට හැකිවුණා. විශේෂයෙන්ම දියවැඩියා රෝගයේ මුල් අවධියේදී සිරුරේ බර අඩු කරගත් පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටමේ අඩු වීමක් සිදු වන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන බව අපි දන්නා කාරණයක්. ඔහුගේ HbA1c පරීක්ෂණ වලින් සාමාන්‍ය ප්‍රතිඵල පෙන්නුම් කරන අතර, ඔහුට මෙම තත්ත්වය පවත්වා ගනිමින් අවුරුදු 10, 15, හෝ 20ක් ජීවත් වීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔහුට මීට පෙර දියවැඩියා රෝගය තිබූ නමුත් දැන් එය එසේ නොවෙයි. ඔහු නව ජීවන රටාව හා වෙනස්කම් වලට අනුකූල නම්, ඔහුට දියවැඩියාව සමනය වූ තත්ත්වය තුළ රැඳී සිටින්න හැකියාව තිබෙනවා. 

මා සතුව ඇති දෙවන කතාව අවුරුදු 10 ක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙන නමුත් එම රෝගයේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු ගැනයි. තවදුරටත් රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයේ සිටියහොත් ඔවුන්ගේ ශරීරයට කුමක් සිදුවේද යන්න ගැන එම රෝගියා කනස්සල්ලට පත්ව සිටියා. ඔවුන් සමඟ ගොඩ නැගූ  සැලැස්ම පිළිබඳව මම ඔබට විස්තර කරන්නම්. දියවැඩියා රෝගය සුව කළ නොහැකි බවත් කිහිප දෙනෙකු සුව වුණත් සමහරුන් එය සමඟ ජීවත් වීමට පුරුදු විය යුතු බවත් අපි කියනවා. සාමාන්‍යයෙන් අවුරුදු 45ක කෙනෙක්ට හෘදයාබාධ, ආඝාතය, වකුගඩු ආබාධ, අක්ෂි ආබාධ එනම් දෘෂ්ටි විතානයේ ඇතිවෙන හානි, ස්නායු රෝග, හෝ තුවාල සුව වීමට  බලපාන සහ පාදයක් කපා දැමීමට පවා තුඩු දෙන කකුල් වලට ඇතිවෙන රුධිර ප්‍රවාහයේ ගැටළු වැනි සංකූලතාවලට මුහුණ නොදී අවුරුදු 85ක් දක්වා ජීවත් වීමට අවශ්‍ය දේ අපි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම සුවපහසු ලෙස ජීවත් වීමට අවශ්‍ය දේ ගැන මම ඔවුන් සමඟ සාකච්ඡා කළා.

නව වාහන නඩත්තු කිරීමේ තාක්ෂණය නිරීක්ෂණය කරන ලෙස මම ඔවුන්ට පැවසුවා. මීට පෙර තාක්ෂණය පදනම් වී තිබුනේ වාහනය අලුත්වැඩියා කිරීම මත මිස එය සර්විස් කිරීම මත නෙවෙයි. ඉතින් ගමන මැද වාහනයක් කැඩුනම ගරාජ් එකට ගෙනියනවා. නමුත් දැන් අපි වාහනය කැඩෙන එක වළක්වා ගන්න එය සර්විස් කරලා නඩත්තු කරනවා. දියවැඩියාව සඳහා අප භාවිතා කරන න්‍යාය එයයි. සෑම මාස 3 කට වරක්, අපි වාහනයක ෆිල්ටර පරීක්ෂා කරන ආකාරයටම රුධිරයේ සීනි මට්ටමට අදාළ අවදානම් තත්ත්වයන් පරීක්ෂා කර තක්සේරු කරනු ලබනවා. මෙම පරීක්ෂාවන් වලදී, අපි ඇස්, කකුලේ ස්නායු, වකුගඩු, හෘදයාබාධ ඇති කළ හැකි කොලෙස්ටරෝල් මට්ටම් සහ වෙනත් අවදානම් සාධක පරීක්ෂා කිරීමට වග බලා ගන්නවා. ඖෂධ ලබා ගන්නා අතර  එවැනි සංකූලතා වළක්වා ගනිමින් වසර 85 ක් දක්වා ජීවත් විය හැකි ජීවිතයක් ගැන මම ඔවුන්ට විස්තර කළා.

මෙම නව තාක්ෂණයේ ධනාත්මක පැත්ත එයයි. දියවැඩියාව නිසා ඉන්ද්‍රියන් වලට ඇතිවෙන හානිවලට ප්‍රතිකාර කිරීමට සහ එවා වැළැක්වීම සඳහා නව ක්‍රම අප සතුව තිබෙනවා. බොහෝ දෙනෙක් ජාත්‍යන්තරව පවා මෙම සංකල්පය භාවිතා කරනවා. ඒ කියන්නේ ගැටලුව ඇති වන තෙක් බලා නොසිට එය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමයි. මම දේශපාලනය ගැන කතා කිරීමට කැමති නෙවෙයි, නමුත් ඔබට ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වයෙන් ඉගෙන ගත හැකි කරුණු කිහිපයක් තිබෙනවා. ඔබ ශ්‍රී ලංකාව පිළිබඳව නිරීක්ෂණය කළොත් ඔබට පෙනේවී ගැටලු පැනනඟින විට අපි ඒවා විසඳන්න කටයුතු කලත් ඒවා වළක්වා ගැනීමට අපි ක්‍රියා කරන්නේ කලාතුරකින් බව. දියවැඩියාව පිළිබඳ අපි කටයුතු කරන්නේ එසේ නොවෙයි. වසර 40ක් පුරාවට මෙය ගැටලුවකින් තොරව ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව එනම් අපට එය හරියටම කළ හැක්කේ කෙසේද සහ ඉදිරි වසර කිහිපය තුළ කිසිදු සංකූලතාවයකට මුහුණ නොදීමට හොඳම සැලැස්ම නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව  අපට අවබෝධයක් තිබිය යුතුයි.

තුන්වන කතාව වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියෙකු ගැන යි. මෙම තත්ත්වය ඇතිවන්නේ ඔවුන් දියවැඩියාව, රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය නොකර ජීවත් වීමෙන්. මෙම වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න බෙහෙත් නිසා ඇති වන බවට වැරදි වැටහීමක් මිනිසුන් තුළ තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම එය දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයක්. ඒ හා සමාන තත්ත්වයන් ඇති බොහෝ දෙනෙකුට අපි පැවසුවේ මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැති බවත් අවසානයේ ඔවුන්ට ඩයලිසිස් හෝ වකුගඩු බද්ධ කිරීමට සිදුවනු ඇති බවත්ය. කොහොම වුණත්, නව තාක්ෂණය සමඟ අපි දැන් කරන්නේ එය නෙවෙයි. ඉහත අප සාකච්ඡා කළා වගේම  දියවැඩියාව සමනය කිරීමට මෙන්ම, දියවැඩියාව නිසා ඇතිවෙන වකුගඩු රෝග සමනය කිරීමට ද හැකියාව තිබෙනවා.

මෙම රෝගියා සඳහා,  ඔව් අපට මාර්ගයක් තිබෙන බව මම පැවසුවා. එහිදී පළමුව අපි මූලික අවදානම් සාධක හඳුනාගෙන ඒවා අවම කරගැනීමට කටයුතු කළා. අප සතුව ඇති නව ඖෂධ රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා පමණක් නෙවෙයි වකුගඩු වලට ද ධනාත්මක බලපෑමක් ඇති කරනවා. අප සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයට භාවිත කරන ඖෂධවලින් වකුගඩුවලට හානි සිදුවන බව බොහෝ දෙනාගේ අවධානයට යොමු වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා අපි වකුගඩුවලටත් හිතකර ඖෂධ භාවිතා කරනවා. ඒ වගේම අධි රුධිර පීඩනය සඳහාත් අප නිර්දේශ කරනු ලබන්නේ රෝගියාගේ වකුගඩු වලට ධනාත්මක බලපෑමක් ඇතිකරන ඖෂධයි. එම රෝගීන්ට බෙහෙත් වර්ග 7,8ක් පමණ ගන්න සිදු වුණත් වකුගඩුවලට අවම බලපෑමක් සිදුවන පරිදි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

සාමාන්‍යයෙන්, කාලය ගතවීමත් සමග වකුගඩු දුර්වල වන බව අපි අසා ඇති නමුත් මෙම නව ඖෂධ වර්ග වකුගඩු වල සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කරන බව  නව පර්යේෂණ හරහා අප නිරීක්ෂණය කළා. මම මගේ රෝගීන්ට කියන්නේ ඔවුන් වයසට ගියත්, ඔවුන්ගේ වකුගඩු තරුණ බවයි. රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා, දියවැඩියාව නිසා ඇතිවෙන වකුගඩු රෝගය සමනය කර තත්ත්වය යහපත් අතට හරවන්න අපට පුළුවන්.

මේ කතා තුන හරහා මට කියන්නට අවශ්‍ය වන්නේ දියවැඩියාව යනු ඔබ බිය විය යුතු දෙයක් නොවන බවයි. සුභ ආරංචිය නම් පාලනයක් නොමැති පුද්ගලයින්ට එය පාලනය කර ගැනීමටත්, දියවැඩියා රෝගීන්ට දියවැඩියාව සමනය කිරීමේ ක්‍රමයකට යාමටත්, අවයව හානි වූ පුද්ගලයින්ට සාමාන්‍ය සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට සැලැස්මක් සකස් කිරීමටත් ඒ වගේම මෙම රෝගී තත්ත්වය  සමග දීර්ඝකාලයක් ජීවත් වෙන්න සිදුවන පුද්ගලයෙකුට අපහසුවකින් තොරව ඒ ගමන යන්නටත් අපට කටයුතු කල හැකි බවයි.

MBBS MD FRCP, උපදේශක අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම්.