Author

admin

Browsing

ඔයාට ඔයාගෙ වැඩ, මූල්‍ය තත්ත්වය, සමාජ ජීවිතය, ශාරීරික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය කළමනාකරණය කිරීමේදී  ඇතිවන අරගලය පිළිබඳව අපිට තේරෙනවා. ඒ සියල්ල සමහර වෙලාවට මනසට දරාගන්න අපහසුයි වගේ දැනෙන්න පුළුවන්. නමුත් නින්දට ස්ථාවර කාලසටහනක් පවත්වා ගැනීම සහ එයට ප්‍රමුඛත්වය දීම ඔයාගෙ ශාරීරික හා මානසික යහපැවැත්ම සමතුලිත කිරීමට විශාල උදව්වක් වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවාද? ඒ වගේම හොඳම කොටස තමයි, හොඳ රාත්‍රී නින්දක් ලබා ගැනීම මගින් ඔබට වඩාත් ජවසම්පන්න සහ ඵලදායී දිනයක් ලබා ගැනීමට හැකියාව ලැබීම. ඔයාට සෞඛ්‍ය සම්පන්න නිදි චර්යාවක් ඇති කරගැනීමට යොදාගත හැකි විවිධ ක්‍රම දැනගැනීමට මේ ලිපිය දිගටම කියවන්න.

ඔයාගේ නිදාගැනීමේ අවශ්‍යතා තේරුම් ගැනීම

හැමොටම ගැළපෙන එක නිදාගැනීමේ රටාවක් නැහැ. ඔයා මුලින්ම ඔයාගේ නිදා ගැනීමේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීමෙන් ආරම්භ කරන්න. වැඩිහිටියන් සඳහා සාමාන්‍ය නිර්දේශය වන්නේ රාත්‍රියකට පැය 7-9 ක නින්දක් වුවත්  විවිධ ප්‍රමාණයෙන් නින්ද ලබා ගැනීමෙන් පසු ඔයාට හැඟෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.ඒ හරහා ඔයාට හොඳ විවේකයක් සහ ප්‍රබෝධමත් බවක් දැනෙන හොඳම කාලසීමාව සොයා ගන්න.

විවේකී නින්දක් සඳහා ක්‍රියාපිළිවෙතක් නිර්මාණය කරගැනීම

නින්දට යාමේ ස්ථාවර දින චර්යාවක් නිර්මාණය කරගැනීම හරහා, එමගින් විවේක ගැනීමට සහ නින්දට සූදානම් වීමට කාලය බවට ශරීරයට සහ මනසට ප්‍රබල සංඥාවක් නිකුත් කෙරනවා. පොතක් කියවීම, උණුසුම් ස්නානයක යෙදීම, සැහැල්ලු ව්‍යායාමයන්  ප්‍රගුණ කිරීම, භාවනා කිරීම හෝ ගැඹුරු හුස්ම ගැනීම වගේ සන්සුන් ක්‍රියාකාරකම්වල යෙදීම මගින් ඔයාගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ඔයාටම ආවේනික දින චර්යාවක් නිර්මාණය කරගන්න හැකියාව තිබෙනවා. සෑම රාත්‍රියකම මෙම චර්යාව අනුගමනය කිරීමෙන් ඔයාට සාමකාමී නින්දක් ලබාගැනීමට ශරීරය පුහුණු කරන්න පුළුවන්.

එදිනදා නින්දට යෑමට සහ අවදිවීමට ඒකාකාර වේලාවක් අනුගමනය කරන්න

සෞඛ්‍යය සම්පන්න නින්දකට කාලසටහනක් ගොඩනගා ගැනීම සඳහා එයට අනුකූල වීම අත්‍යාවශ්‍ය දෙයක්. කලින් පියවරේදී ඔයාට අවශ්‍ය නින්දේ ප්‍රමාණය පිලිබඳව අවබෝධයක් ලබාගත්තාට පසුව එම නින්දේ ප්‍රමාණයට අවශ්‍ය ඉඩ සලසන ඒකාකාර නින්දට යන වේලාවක් සහ අවදි වන වේලාවක් සකසාගන්න. ස්ථාවර නින්දට යෑමේ සහ අවදි වීමේ රටාවක් පවත්වා ගැනීමට වගේම ඔයාගේ ශරීරය හුරුවී ඇති නිදි රටාවට  බාධා නොකිරීමට සති අන්තයේ හෝ නිවාඩු දිනවල පවා මෙම කාලසටහන අඛණ්ඩව පිළිපැදීමට උත්සාහ කරන්න.

නිදාගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරගැනීම

ගුණාත්මක නින්දක් ලබාගැනීම වර්ධනය කර ගැනීමේදී ඔයා නිදියගන්නා පරිසරය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා ගුණාත්මක නින්දක් ලබා ගන්න අවශ්‍ය සුදුසු ස්ථානයක්  නිර්මාණය කරගැනීමට පියවර ගන්න. ඔයාගේ නිදන කාමරය සිසිල්, අඳුරු, නිහඬ සහ සුවපහසු ස්ථානයක් බවට සහතික කර ගන්න. ආලෝකය අවහිර කරන ඝණකම් තිර හෝ ඇස් ආවරණ භාවිතා කිරීම, නින්දට බාධා ඇති කරන ශබ්ද අවහිර කරන ඉයර් ප්ලග් හෝ ශබ්ද අවහිර කරන යන්ත්‍රයක් භාවිතා කිරීම පිළිබඳ සලකා බලන්න.ඒ වගේම ඔබට නිදාගැනීමට පහසු සහ සුදුසු මෙට්ටයක් සහ කොට්ටයක් සඳහා ආයෝජනය කරන්න. නිදන කාමරයේ ඉලෙක්ට්‍රොනික උපකරණ තබා ගන්න එපා. අවශ්‍යම අවස්තාවකදී නින්දට පෙර දීප්තිමත් තිරවලට නිරාවරණය වීම අවම කර ගැනීමට නිල් ආලෝකය අවහිර කරන ෆිල්ටරයක් භාවිතා කරන්න.

නින්දට පෙර උත්තේජක සහ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය සීමා කරන්න

සාමකාමී නින්දකට මග පාදාගැනීම සඳහා ඔයා නින්දට යන්න කලින්  කැෆේන්, නිකොටින් සහ මධ්‍යසාර වැනි උත්තේජක පානය කිරීමෙන් වැළකෙන්න කටයුතු කරන්න. මොකද ඒවා මගින් නින්දේ ගුණාත්මක භාවයට බාධා ඇතිවෙන අතර ඔයාගේ නිදා ගැනීමේ කාලසටහනට ද බාධා වෙන්න පුළුවන්. මීට අමතරව, නින්දට යාමට අවම පැයකට කලින් ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් සහ ලැප්ටොප් වැනි ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය අඩු කරන්න. මෙම උපකරණ මගින් නිකුත් කරන නිල් ආලෝකය ඔයාට නින්දට වැටීමට අවශ්‍ය වන මෙලටොනින් නම් නිද්‍රා හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය අවම කරනවා.

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීම

දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීම මගින් ඔයාගෙ සමස්ත සෞඛ්‍යයට ප්‍රතිලාභ ලැබෙනවා පමණක් නෙවෙයි එමගින් නින්දේ ගුණාත්මක භාවය ද වැඩි දියුණු වෙනවා. ඒ වගේම ඒ තුළින්  ඔයා නින්දට යන සහ අවදි වෙන වේලා චක්‍රය ද ක්‍රමවත් වෙනවා. සතියේ බොහෝ දිනවල අවම වශයෙන් මිනිත්තු 30 ක මධ්‍යස්ථ වශයෙන් අසීරු ව්‍යායාම කිරීමට ඉලක්ක කරන්න. නමුත් නින්දට යාමට ලංවෙලා වඩාත් අසීරු ව්‍යායාම කිරීමෙන් වැළකී සිටින්න කටයුතු කරන්න. මොකද නින්ද ලඟා නොවෙන තරම් ඔයාගේ ශරීරය ක්‍රියාශීලී වෙන්න පුළුවන්. ඇවිදීම, ව්‍යායාමය සඳහා දිවීම, යෝගා හෝ නැටුම් වැනි විනෝදජනක ක්‍රියාකාරකම් ගවේෂණය කරන්න. ඒවා ඔයාගේ දෛනික චර්යාවන්ට අනුගත කරගන්න.

ආතතිය කළමනාකරණ ක්‍රම පුහුණු වීම

මානසික ආතතිය සහ කාංසාව හොඳ රාත්‍රී නින්දක් ලබා ගැනීමට ප්‍රධාන බාධාවක් වෙන්න පුළුවන්. නින්දට පෙර සන්සුන් හා විවේකී තත්වයක් ගොඩනගා ගැනීම සඳහා ආතතිය කළමනාකරණය කරන ක්‍රමවලට ප්‍රමුඛත්වය දෙන්න. දින පොතක ලිවීම, ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස, ප්‍රගතිශීලී මාංශ පේශි ලිහිල් කිරීම හෝ සිහිය පිහිටුවීමේ භාවනාව වැනි පුරුදු ඔයාගේ නින්දට යන වේලාවට ඇතුළත් කිරීම ගැන සලකා බලන්න. ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමවේදය හඳුනාගෙන එය ඔබගේ නිදාගැනීමේ පිළිවෙත් වලට ඇතුළත් කරගන්න.

කෙටි නින්ද ගැන සැලකිලිමත් වීම

දවස අතරතුර කෙටි නින්දක් ලබා ගැනීම සමහර පුද්ගලයින්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.  නමුත් අධික ලෙස හෝ අක්‍රමවත් ලෙස කෙටි නින්ද යොදාගැනීම ඔයාගේ රාත්‍රී නිදා ගැනීමේ කාලසටහනට බාධාවක් වෙන්න පුළුවන්. රාත්‍රියේ නින්ද යෑම හෝ බාධාවකින් තොර නින්දක් ලබා ගැනීම ඔයාට අභියෝගයක් නම්, දවල් කාලයේ නිදාගැනීම සීමා කිරීම හෝ ඒවා කෙටි කාලයකට (විනාඩි 20-30 පමණ) සීමා කිරීම සහ දවසේ මුල භාගයේ එය කාලසටහන්ගත කිරීම ගැන සලකා බලන්න.

නිදාගැනීමේ  කාලසටහන නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය සැකසීම් සිදු කිරීම

ඔයාගේ නිදාගැනීමේ කාලසටහන ස්ථාපිත කරගත්තාට පස්සේ එය ඔයාගේ නින්දේ ගුණාත්මක භාවයට සහ සමස්ත යහපැවැත්මට බලපාන ආකාරය නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා. හැමදාම රෑට ඔයාගේ නින්දේ කාලසීමාව සහ ගුණාත්මකභාවය පිළිබඳ සටහන් තබා ගැනීමට  දිනපොතක් තබා ගන්න, එහෙම නැත්තම් ස්ලීප් ට්‍රැකිං ඇප් එකක් භාවිතා කරන්න. ඔයා නිරන්තරයෙන් නිදා ගැනීමට හෝ අවදි වීමට අරගලයක යෙදෙනවා නම්, එහෙමත් නැත්‍නම්  දවල් කාලයේදී ඔයාට අධික වෙහෙසක් දැනෙනවා නම්, ඔයාට  වඩාත් සුදුසු නිදා ගැනීමේ කාලසටහනක් සකස් කර ගැනීම සඳහා ඔයා නින්දට යන හෝ අවදි වන වේලාව වෙනස් කිරීම ගැන සලකා බලන්න.

ඉවසිලිමත් වීම සහ අඛණ්ඩව නිදි චර්යාව පවත්වාගෙන යෑම

නිසි ආකාරව නිදා ගැනීමේ කාලසටහනක් ගොඩනැගීමට කාලය සහ ඉවසීම අවශ්‍ය වෙනවා. ඔයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම මේ සඳහා අනුවර්තනය වීමට සහ දින චර්යාවේ වෙනසක් සහ ප්‍රතිඵලයන් ලබා ගැනීමට සති කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඉඳහිට ඇති වන පසුබෑම් හෝ බාධා වීම්  හමුවේ වුණත් ඔයාගේ නිදා ගැනීමේ කාලසටහනට අනුව කටයුතු කරන්න. නොපසුබට උත්සාහයෙන් දිගටම මේ චර්යාවන් වල යෙදීීමෙන් ඔයාගේ ශරීරය එයට  අනුගත වී ඔයාගේ නින්දේ ගුණාත්මකභාවය සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු වේවි.

References:1. National Sleep Foundation. (n.d.). How Much Sleep Do We Really Need? Retrieved from https://www.sleepfoundation.org/articles/how-much-sleep-do-we-really-need2. Mayo Clinic. (2021, April 8). Sleep tips: 7 steps to better sleep. Retrieved from https://www.mayoclinic.org/healthy-lifestyle/adult-health/in-depth/sleep/art-200483793. Division of Sleep Medicine at Harvard Medical School. (2007, December 18). Twelve Simple Tips to Improve Your Sleep. Retrieved from http://healthysleep.med.harvard.edu/healthy/getting/overcoming/tips4. American Heart Association. (2021, April 23). How does exercise help with better sleep? Retrieved from https://www.heart.org/en/healthy-living/healthy-lifestyle/sleep/how-does-exercise-help-with-better-sleep5. National Institute of Mental Health. (n.d.). 5 Things You Should Know About Stress. Retrieved from https://www.nimh.nih.gov/health/publications/stress/index.shtml

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම කියන්නේ සීමා කිරීම් සහ රසයක් නැති ආහාර පමණක් පරිභෝජනය කරනවා කියන එක නෙවෙයි. එය ඔයාගේ ශක්ති මට්ටම ඉහළ නංවන, ඔයාගේ මනෝභාවය වැඩි දියුණු කරන, විවිධ රසයන් සහ පෝෂ්‍යදායී තේරීම්වලින් පිරුණු ආකර්ෂණීය ගමනක්. අපි අද ශක්තිය වැඩි කරන ,සතුට වැඩි කරන සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු පිළිබඳව ඇති රහස් ගැන තමයි කතා කරන්න සූදානම. ඉතින් ඔයාගෙ සමස්ත යහපැවැත්ම වෙනස් කරන සූපශාස්ත්‍ර ගමනක් ආරම්භ කිරීමට සූදානම් වන්න. (ඔබට පුළුවන් පසුව අපට ස්තූති කරන්න!)

ඔබේ උදෑසන ආහාරය නිසි ආකාරව සකස් කරගැනීම කියන්නේ  ඔබේ දවස ප්‍රබෝධමත්  කරගැනීමයි

ඔයාගෙ ශක්තිය ඉහළ නංවන පෝෂ්‍ය පදාර්ථවලින් පිරුණු උදෑසන ආහාරයක් මඟින් ඔබට අපුරූ දවසක් සඳහා සූදානම් වෙන්න හැකියාව තිබෙනවා. සීනි වලින් පිරුණු සීරියල් වලට සමුදීලා  සමබර පෝෂණයක් ලබා දෙන ආහාර වලට යොමුවෙන්න ඔයාට හැකියාව තිබෙනවා. හොඳින් පිසූ බිත්තරයක් සමග අලිගැට පේර ටෝස්ට් එකක් ගැන ඔයා මොකද හිතන්නේ? නැවුම් පලතුරු බඳුනක් එහෙම නැත්නම් ස්මූති එකක් සමග පලතුරු සහ හැපෙනසුළු ග්‍රැනෝලා ගැන ඔයා මොකද හිතන්නේ? මෙවැනි රසවත් විකල්පයන් ඔබේ ශරීරය පෝෂණය කරනවා වගේම, ඔයාගෙ ආහාර ජීරණය විධිමත් කර ඔයාට ලෝකය ජය ගැනීමට සූදානම් හැඟීමක් ඇති කරනවා.

නිතර අත්හදා බැලීම් සිදුකරන්න

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම කම්මැලි දෙයක් වෙන්න ඕනේ කියලා කවුද කියන්නේ? ඔයාගේ රස නහර පිනා යන වර්ණවත් පලතුරු සහ එළවළු වර්ග වලින් ඔයාට පුළුවන් ඔයාගේ කෑම පිඟාන පුරවගන්න. රසවත් ස්ට්‍රෝබෙරි වගේම බෙල් පෙපර් සහ විචිත්‍රවත් කොළ පැහැති පලා එකතු කරගෙන ඔයා කන හැම කටක්ම රසයෙන් සහ ජවයෙන් පුරවගන්න හැකියාව තිබෙනවා. ඔබ අලුත් ආහාර වට්ටෝරු අත්හදා බැලිමට සහ ඒවා නිර්මාණශීලී අයුරින් සකසා ගැනීමට පැකිලෙන්න එපා. එය නැවුම් කොමඩු සලාදයක්, අඩු තෙලේ සකසාගත් ආහාරයක් හෝ වර්ණවත් පලතුරු කෙබාබ් එකක් වෙන්න පුළුවන්.

බුද්ධිමත් විදියට ස්නැක් එකක් හදාගමු

ශරීරයට වැඩකට නැති ස්නැක් වලට මනස යොදවන්නේ නැතිව ඔබේ ශරීරයට ශක්තිය සපයන සහ ඔබේ මුහුණට සිනහවක් ගෙන දෙන ස්මාර්ට් ස්නැක් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. පෙර සකසන ලද කෙටි ආහාරවලට සමුදී තිරසාර ශක්තිය සපයන සෞඛ්‍ය සම්පන්න ආහාර විකල්ප තෝරා ගන්න. හැපෙනසුළු ආමන්ඩ් ටිකක් හෝ නැවුම් බෙරි මුසු කර, ග්‍රැනෝලා ඉසින ලද රසවත් යෝගට් එකක් ගැන ඔයා මොකද හිතන්නේ? මෙම කෙටි ආහාර ඔයාව තෘප්තිමත් කරනවා, ඔයාගේ මනෝභාවය ඉහළ නංවනවා වගේම දවල් වරුවේ එන කම්මැලි, නිදිමත ගතිය නැතිකරනවා.

ප්‍රෝටීන් පිරුණු ප්‍රණීත ආහාර සමඟ ප්‍රබෝධමත් වෙන්න

ප්‍රෝටීන් කියන්නේ උපරිම ශක්තිය සහ මනෝභාවය සඳහා ඔබේ ශරීරයට අත්‍යාවශ සුපිරි වීරයා කිව්වොත් හරියටම හරි. ඔබේ මාංශ පේශි පෝෂණය කිරීමට සහ ඔබට තෘප්තිමත් හැඟීමක් ඇති කර ගැනීමට මේදය අවම ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කරගන්න. විචිත්‍රවත් සලාදයක් සමඟ ග්‍රිල් කළ මාංසල කුකුල් මස් බ්‍රෙස්ට් ආහාරයට ගන්න. එහෙම නැත්තම්  ක්විනෝවා සහ කළු බෝංචි බඳුනක රස බලන්න ඔයාට පුළුවන්. මෙම ප්‍රෝටීන් පිරුණු ආහාර ඔයාගේ ශක්ති මට්ටම් ස්ථාවරව තබා ගන්නවා වගේම දවස පුරාම මනෝභාවය ඉහළ නංවනවා.

වරදකාරී හැඟීමකින් තොරව ඔබ ඔබට සලකන්න

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම කියන්නේ ඔබට රසවත් ආහාරයක් අහිමි කරගන්නවා කියන එක නෙවෙයි. එයින් අදහස් වන්නේ  ඔයාගේ ආශාවන් තෘප්තිමත් කරන සහ ඔයාගේ ශරීරය පෝෂණය කරන බුද්ධිමත් විකල්ප සොයා ගැනීමයි. රට ඉඳි, ඇට වර්ග සහ ඩාර්ක් චොකලට් වලින් නිවසේ දීම සදාගත හැකි ශක්තිජනක ගුලි හෝ උණුසුම් දිනයක දී ඔබව ප්‍රබෝධමත් කරන පලතුරු සරුවත් අනුභව කරන්න. මෙම වරදකාරී හැඟීමෙන් තොර සංග්‍රහයන් ඔයාව තෘප්තිමත් කරනවා වගේම ඔයාට ශරීර ශක්තිය සහ මනෝභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවා. ඔයා දැන් නිවැරදි දිශාවට එක් පියවරක් තබා තිබෙනවා. ඔයා මෙම ලිපිය මෙතෙක් කියවීමෙන් අදහස් වන්නේ ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම වැදගත් කොට සලකා බලන බවයි . ඒ වගේම අත්හදා බැලීමට, විවිධ රසයන් රස විඳීමට සහ ඔබට වඩාත් සුදුසු දේ සොයා ගැනීමට අනිවාර්යයෙන් මතක තබා ගන්න.

References:Nickols-Richardson, S. M., et al. (2005). Perceived hunger is lower and weight lossBellisle, F., et al. (2014). Meals and snacking, diet quality and energy balance. Physiology & Behavior, 134, 38-43. Drewnowski, A. (2013). New metrics of affordable nutrition: Which vegetables provide most nutrients for least cost? Journal of the Academy of Nutrition and Dietetics, 113(9), 1182-1187.

චර්ම රෝග විශේෂඥයින් ලෙස අපට බොහෝ ලෙස අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නයක් තමයි හිස පීරනකොට විශාල ලෙස හිසකෙස් ගැලවීයාම, නාන කාමරයේ බිම හිසකෙස් වැටී තිබීම එහෙමත් නැත්තම් නිදාගෙන නැගිටින විට හිස තැබූ කොට්ටයේ හිසකෙස් ගැලවී වැටී තිබීම.

ඔබත් මේ තත්ත්වයට මුහුණ දෙන මෙයට හේතුව කුමක්ද යන්න ගැන සැලකිලිමත් වන අයෙක්ද?

මේ ඔබ ඒ පිළිබඳව දැනගත යුතු දේවල්…

පළමුව, අපි මෙම සංසිද්ධිය “හිසකෙස් ගැලවීයාම”  ලෙස හඳුන්වනවා. දිනකට හිසකෙස් 50 – 150 ක් ගැලවීයාම  සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ කරදර වියයුතු නැහැ. සෑම කෙස් ගසක්ම අවුරුදු 3ත් 5ත් අතර කාලයකදී ගැලවී යන අතර එයට අදාළව නැවත එම ස්ථානයේම නව කෙස්ගසක් වර්ධනය වනවා. එහිදී කොණ්ඩයේ ඝනත්වය වෙනස් වෙන්නෙ නැහැ.

වයස අවුරුදු 25 න් පසු, පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිසෙහි හිසකෙස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය හේතුවෙන් වයස අවුරුදු 20 – 40 අතර කාලය තුළ ඔවුන්ගේ හිසකෙස්වල ඝනකම තරමක් වැඩි වන්න පුළුවන්. 40 න් පසු, ඔවුන්ගේ ද හිසකෙස් ප්‍රමාණය හා හිසකෙස් වල ඝනත්වය අඩු වීමකට ලක්වෙනවා.

සමහර රෝගාබාධ නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් අධික ලෙස හිසකෙස් ගැලවී යාම ඔබ දැක තිබෙනවා ඇති. සාමාන්‍යයෙන් එලෙස ඇතිවන තත්ත්වයක් වන්නේ, විශේෂයෙන් අධික ලෙස ඔසප් වන තරුණියන් අත්විඳින, යකඩ ඌනතාවයි. ඒ බව හඳුනාගෙන එම ඌනතාවය සඳහා ප්‍රතිකාර කිරීම නිරෝගී හිසකෙස් වර්ධනයට හේතුවෙනවා.

යකඩ හා සමානව, හිසකෙස් වර්ධනය සඳහා විටමින් D සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා. ඔබ දන්නවා ඇති අපි හිරු එළියට නිරාවරණය වන විට අපේ සමෙන් විටමින් D නිපදවන බව. අපි හිරු එළිය බහුලව අත්විඳින නමුත් අපේ රටේ සහ අපේ රට හා සමාන රටවල මිනිසුන් විටමින් D ඌනතාවයට ගොදුරු වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. එය හිසකෙස් අඩුවීමට හේතු වෙනවා.

සමහර අවස්ථාවලදී, මන්දතයිරොයිඩතාව සහ අධි තයිරොයිඩතාව වැනි රෝග (අඩු ක්‍රියාකාරී හෝ අධි ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක්, පිළිවෙලින් තයිරොයිඩ් හෝමෝනය අඩු හෝ වැඩි ප්‍රමාණයක් නිපදවීම) හේතුවෙන් ඔබේ හිසකෙස් වැටිය හැක. ඔබට එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, නිර්දේශිත හෝමෝන පරීක්ෂණ සිදුකර ගත යුතුය.

හිස්සොරි සහ එයට බෙහෙවින් සමාන seborrheic dermatitis යනු වඩාත් බහුලව දන්නා හිස්කබලේ ඇතිවෙන සංකූලතා දෙකකි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස හිස්කබලෙන් කුඩා පතුරු ගැලවී යන අතර එය හිසකෙස් වැටීමට හේතුවෙනවා. මෙම තත්ත්වයන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද සහ පිළිගත් හිස්සොරි ඉවත් කරන ෂැම්පු සතියකට කිහිප වතාවක් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්න.

ඔබේ හිසකෙස් මෝස්තර කිරීමට භාවිතා කරන රසායනික නිෂ්පාදන සහ  hair dryers, curlers සහ straighteners වැනි උණුසුම් මෙවලම් ‍යන්ත්‍ර ඔබේ හිසකෙස් දුර්වල කරන අතර ඉක්මනින් හිසකෙස් ගැලවී යාමට හේතු වෙනවා. විශේෂයෙන්, තෙත් හිසකෙස් මත ඉහළ තාප මට්ටමක් භාවිතා කිරීම “Bubble Hair Syndrome” ලෙස හඳුන්වන හිසකෙස් වල වායු බුබුළු නිර්මාණය වීමට හේතුවේ. එය ඔබේ හිසකෙස් වලට තවදුරටත් හානි ඇති කරයි.

ඔබ මුහුණ දෙන අතිවිශාල කායික හෝ මානසික ආතතිය ද ඔබේ හිසකෙස්වලට අහිතකර ලෙස බලපාන අතර අපි මෙය Telogen Effluvium ලෙස හඳුන්වනු ලබනවා. නිදසුනක් වශයෙන්, ඔබ කොවිඩ් හෝ ඩෙංගු උණ රෝගයෙන් පෙළුණු අයෙක් නම් හෝ දැඩි මානසික ආතතියකට ලක්ව සිටිය අයෙකුනම් මාස 2 – 3 කට පසු අධික ලෙස හිසකෙස් ගැලවී යාමක් ඔබට දැක ගත හැකිය. එය ඕනෑම ආකාරයක ශාරීරික හෝ මානසික ආතතියක් විය හැකිය. නමුත් ශුභාරංචිය නම් මාස කිහිපයකින් මේ සියල්ල යථා තත්ත්වයකට පත්වීමයි.

එපමණක් නොව, ඔබේ හෝමෝන සහ ජානවල සංයෝජනයෙන් ඇතිවන බලපෑම නිසා හිසකෙස් ගැලවී යාම ඇතිවන්න පුළුවන්. එය  Androgenetic Alopecia ලෙස හඳුන්වනු ලබයි. එය හිසකෙස් ගැලවී යාමේ සාමාන්‍ය ආකාරයක් වන අතර බහුලව පිරිමින් අතරද සමහර අවස්තාවන් වලදී කාන්තාවන් අතරද දක්නට ලැබේ.

අවසාන වශයෙන්,  ඔබේ හිසකෙස් අධික ලෙස වැටෙන බව හෝ එහි ඝණත්වය සීග්‍රයෙන් අඩුවන බව ඔබ සිතනවා නම්, ඔබ සුදුසු වෛද්‍යවරයෙකු හමුවී නිවැරදි රෝග විනිශ්චයක් සිදුකර ගැනීම වැදගත් වෙනවා.

ආචාර්ය දුලිනි ලියනගම
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය / MBBS, MD (Dermatology), MRCP (UK), SCE Derm MRCP

පියයුරු පිළිකා යනු ලෝකයේ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයක්. මේ හේතුවෙන් ජීවිත අහිමි වන කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. ලෝකයේ සිදුවන මරණ සංඛ්‍යාව සැලකූ විට පිළිකා මරණ 5 වැනි ස්ථානය ගන්නා අතර විශේෂයෙන්ම පියයුරු පිළිකා හේතුවෙන් එම මරණ සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලූවිට, එය ලෝකයේ සෙසු රටවල ඇති තත්ත්වයන්‍ට බෙහෙවින් සමාන වෙනවා. දිනකට කාන්තාවන් 12 දෙනෙකු පමණ පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට වාර්තා වන අතර සෑම දිනකම කාන්තාවන් 2 දෙනෙකුට මේ හේතුවෙන් ජීවිතය අහිමි වෙනවා. අවාසනාවකට, පියයුරු පිළිකා හා සම්බන්ධ පිළිකා වර්ගය වළක්වා ගත හැකි දෙයක් නොවෙයි. 

එසේ නම්, මේ සම්බන්ධයෙන් අපට මොකක්ද කරන්න පුළුවන්?

පියයුරු පිළිකාවක් ඇති බවට පෙන්වන  බාහිර ලක්ෂණ වලට පෙර පියයුරු පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමට අපට හැකි නම්, එය සම්පූර්ණයෙන්ම සුව කිරීමට අපට හැකියාව තිබෙනවා. 1980 දශකය දක්වා, පියයුරු පිළිකා සඳහා වූ ප්‍රතිකාරවල ගුණාත්මක භාවයේ සැලකිය යුතු දියුණුවක් දක්නට තිබුණේ නැහැ. එයින් අදහස් කරන්නේ සුව කිරීමට උත්සාහ කළ තරමට, රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හෝ සම්පූර්ණයෙන් පිළිකාව සුව කිරීමට ක්‍රමයක් නොතිබුණු බවයි. කෙසේ වෙතත්, පසුව පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා ක්‍රම වැඩිදියුණු කළ පසු, සුව කිරීමේ වේගය සැලකිය යුතු ලෙස වැඩි වුණා. මෙහි විශාලතම කාර්යභාරය වූයේ මැමෝග්‍රැෆි පරීක්ෂාව හඳුන්වා දීමයි. මෙයින් පසු, කාන්තාවන්ට තම පියයුරු වල කිසියම් වෙනස් වීමක් නිරීක්ෂණය කිරීමට හෝ දැනීමට පෙර වගේම පිළිකාවේ ආරම්භක අවධියේදීම පවා පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණා. සම්මත ප්‍රතිකාර ක්‍රම මගින් සම්පූර්ණයෙන්ම පිළිකාව සුව කිරීමට මෙමගින් හැකි වුණා. මෙයින් අපට සම්පූර්ණ පියයුරු ඉවත් කිරීම හෝ රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාර සඳහා යාම වළක්වා ගන්න හැකියාව තිබෙනවා.

මැමෝග්‍රැෆි සිදු කළ යුත්තේ කුමන වයසේ කාන්තාවන්ද?

වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් මෙම පරීක්ෂණය වාර්ෂිකව හෝ ලංකාවේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය පරිදි අවම වශයෙන් සෑම වසර 2 කට වරක්වත් කළ යුතුයි. නමුත් ශ්‍රී ලංකාවට එම වරප්‍රසාදය තවමත් ලැබී නැහැ.

එසේ නම් අපි කුමක්ද සිදුකළ යුත්තේ?

මැමෝග්‍රැෆි තරම් ප්‍රතිඵලදායක නොවූවත්, වයස අවුරුදු 20ට වැඩි නම් තම පියයුරුවල තත්ත්වය ස්වයං-රෝග විනිශ්චය කරන ලෙස තමයි අපි සියලුම කාන්තාවන්ට උපදෙස් ලබා දෙන්නේ. ඔවුන්ගේ මාසික ඔසප් වීම් කාලයෙන් පසු දින 7-10 ක් ගත වූ පසුව ඔවුන්ට එසේ ස්වයං පරීක්ෂාවක් සිදුකරගන්නට හැකියාව තිබෙනවා. මෙහිදී ඔවුන් කැඩපතක් ඉදිරිපිට තම පියයුරු නිරීක්ෂණය කළ යුතු අතර, මතුපිට යම් වෙනස්කම්, තන පුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවීම හෝ පියයුරු පිළිකා වලට අදාල වෙනත් ලක්ෂණ දැනෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

මේ සඳහා සායනික රෝග විනිශ්චය කිරීමේ විකල්පය ද තිබෙන අතර එහිදී වෘත්තීයවේදියෙකු කාන්තාවගේ පියයුරු පරීක්ෂා කරනු ලබනවා. වයස අවුරුදු 20-39 අතර කාන්තාවන් අවම වශයෙන් සෑම වසර 1-3 කට වරක් මෙම සායනික පරීක්ෂණය සිදු කළ යුතු අතර වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් අවම වශයෙන් වසරකට වරක්වත් මෙම සායනික පරීක්ෂණය සිදු කළ යුතුයි. පියයුරු පිළිකා ඇතිවීමේ සාමාන්‍ය අවදානමක් ඇති කාන්තාවන්ට මේ සියල්ල අදාළ වෙනවා. 

එසේ වුවද, මීට පෙර පියයුරු පිළිකාවට ගොදුරු වූ තම මවගේ, සහෝදරියගේ හෝ සමීපතම ඥාතියෙකුගේ ඉතිහාසය නිසා පියයුරු පිළිකා වැළඳීමේ වැඩි සම්භාවිතාවක් ඇති කාන්තාවන් සිටින්න පුළුවන්. අප ඔවුන්ව පියයුරු පිළිකා වැළඳීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති පුද්ගලයින් ලෙස සලකන අතර, අවදානම පිළිබඳ නිසි තක්සේරුවක් හරහා අපට  ඔවුන්ට වයස අවුරුදු40 ට පෙර පවා මැමෝග්‍රෑම් පරීක්ෂණය නියම කරන්න හැකියාව තිබෙනවා. වයස අවුරුදු 40 ට අඩු අයට පරීක්ෂණයේ සංවේදීතාව ක්‍රමයෙන් අඩු වන බැවින් අපි වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන්ට මැමෝග්‍රැෆි නිර්දේශ නොකරන බව ද දැන සිටිය යුතුයි.  ඔවුන් සඳහා අපි අල්ට්රා සවුන්ඩ් ස්කෑන් සහ පියයුරු සඳහා MRI ස්කෑන් පරීක්ෂණ පවත්වනවා. අපට සැකයක් ඇත්නම්, අපි කුඩා සාම්පලයක් ගෙන එය පිළිකාකාරී තත්ත්වයක් දැයි නිවැරදිව හඳුනා ගන්නවා. පිළිකා රෝගයක් බවට සනාථ වූ අවස්ථාවක, විශේෂයෙන්ම PET-CT ස්කෑන් මගින් එය ශරීරයේ සෙසු ප්‍රදේශවලට කිසියම් ආකාරයකින් පැතිරී ඇත්දැයි අප ඉක්මනින් පරීක්ෂා කරනවා. දැනට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ඇත්තේ PET-CT ස්කෑන්  යන්ත්‍ර එක බැගින් පමණක් බැවින් මෙයද සිදු කළ හැක්කේ ඉතා සීමිත සංඛ්‍යාවකට පමණයි.

පියයුරු පිළිකා රෝගියාගේ වාර්ථාව මත හොඳම ප්‍රතිකාරය තීරණය කිරීම සඳහා අපි CT ස්කෑන් සහ අස්ථි ස්කෑන් පරීක්‍ෂණ සිදුකරනවා. පිළිකාව ඒ වන විට දුරස්ථ අවයව වලට පැතිරී නොමැති නම් අප විසින් ශල්‍යකර්ම නිර්දේශ කරනු ලබනවා. එය මුල් අවධියේ නම්, පියයුරු සම්පූර්ණයෙන්ම ඉවත් නොකර පිළිකාව පමණක් ඉවත් කිරීමට අපට හැකියාව තිබෙනවා. එය පියයුරු සංරක්ෂණ ශල්‍යකර්මය ලෙස හඳුන්වනවා. එවැනි ශල්‍යකර්මයකින් පසුව අප එම පියයුරු සඳහා විකිරණ චිකිත්සාව සිදුකරනවා. කෙසේ වෙතත්, පිළිකාව පියයුරු හා සසඳන විට ඉතා විශාල නම්, අපට පියයුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කිරීමට සිදුවනවා. කෙසේ වෙතත් මේ වන විට කෘතිමව හෝ ඔවුන්ගේම පටක භාවිතයෙන් පියයුරු ප්‍රතිනිර්මාණය කිරීමට ක්‍රම තිබෙනවා.

මේ සියල්ලෙන් පසු සිදු කරන ලද සියලුම පරීක්ෂණ සහ අදාළ වාර්තා සැලකිල්ලට ගනිමින්, එම පිළිකාව ශරීරයේ සෙසු ප්‍රදේශවලට පැතිරී ඇති බවට කිසිදු සලකුණක් තිබුණේ නැති වුණත්, එය අන්වීක්ෂීයව ශරීර අභ්‍යන්තරයට පැතිරීමේ හැකියාවක් ඇති බවට අප නිගමනය කළහොත්, අප තවත් ප්‍රතිකාර නිර්දේශ කරනු ලබනවා. රසායනික චිකිත්සාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර, පිළිකා සඳහා ඉලක්කගත ප්‍රතිකාර, හෝමෝන ප්‍රතිකාර සහ තවත් බොහෝ ප්‍රතිකාර එවැනි  ප්‍රතිකාර වලට අයත් වෙනවා. මෙම ප්‍රතිකාර ලබාගෙන සාමන්‍ය කාන්තාවක් ලෙස දිගු සහ නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාවන්ත වූ කාන්තාවන් පිළිබඳ විස්තර  තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම පිළිකාව ශරීරය පුරා පැතිර ගිය කාන්තාවන් ද අපට හමුවෙනවා. සම්මත වෛද්‍ය ක්‍රම හරහා, මෙම කාන්තාවන්ට දිගු, නිරෝගී ජීවිතයක් ලබා දීමට අපට හැකියාව තිබෙනවා. මෙම සම්මත ක්‍රියා පටිපාටිවලට අමතරව, Palliative Care ලෙස හඳුන්වන ඉතා වැදගත් ප්‍රතිකාර ක්‍රමයක් ද තිබෙනවා. එය මරණ මංචකයේ සිටින මිනිසුන්ට ලබාදෙන ප්‍රතිකරයක්  යැයි බරපතළ වැරදි මතයක් තිබෙනවා. මෙම Palliative Care ප්‍රතිකාරය පිළිකාවක් හදුනාගත් විට ඒ සඳහා සිදුකරන ප්‍රතිකාර සමග ආරම්භ කළ යුතුයි.  ජීවිතයේ අවසාන බාගයේ සිටින පුද්ගලයින්ට මෙම සත්කාරයේ බලපෑම මිල කළ නොහැකි දෙයක් වන අතර විශේෂයෙන් සුව කළ නොහැකි පිළිකා තත්ත්වයක සිටින කෙනෙකුට, එවැනි සහන සත්කාර නොමැතිව එයට මුහුණ  දීමට සිදුවීම වේදනාකාරී අත්දැකීමක්. ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පවා විඳින කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය දුක් වේදනාවලට මෙම සත්කාරය මගින් බොහෝ ප්‍රයෝජන ලබා ගන්න හැකියාව තිබෙනවා.

පියයුරු පිළිකා අවදානමට ඔබේ මව, සහෝදරිය, ආච්චි හෝ ඔබට සමීප කෙනෙකු ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව ඉගෙන ගැනීම සහ දැනුවත් වීම වැදගත් වනවා. කාන්තාවන් තම පියයුරු ගැන අවධානයෙන් සිටින්නේ නම් සහ නිරන්තර පරීක්ෂණ සිදුකරනවා නම්, පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම වලක්වා ගන්න ඔවුන්ට හැකියාව තිබෙනවා.

වෛද්‍ය ශාමා ගුණතිලක
MBBS (කොළඹ) MD (කොළඹ) SLMC ලියාපදිංචි අංක 17334,
උපදේශක සායනික ඔන්කොලොජි
සායනික අංශයේ ප්‍රධානී
ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානය

දියවැඩියාව මිනිසුන් අත්දකින්න සහ කතා කරන්නවත් අකමැති රෝගී තත්ත්වයක්. කොහොම නමුත් මේ රෝගයට ගොදුරුවූවන් සාර්ථකව එය මැඩපවත්වා ගත්ත කතා තුනක් අද මම ඔබට කියන්නම්. ඉතින් අපි බලමු ඒ අත්දැකීම් වලින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා.

මම මුලින්ම කතා කරන්න කැමති තමන්ට දියවැඩියා රෝගය තිබෙන බව සුළු මොහොතකට පෙර හඳුනාගත් අවුරුදු 28 පිරිමි රෝගියෙකු ගැන. ඔබට දියවැඩියාව හෝ ඇතැමුන් සඳහන් කරන පරිදි “සීනි” තිබේ නම්, නොයෙකුත් ප්‍රතිකාර ලබාගන්නා අතරතුර ඔබට ඔබේ මුළු ජීවිත කාලයේම එයට මුහුණ දීමට සිදුවන බව බොහෝ දෙනා දන්නා කරණයක්. ඉතින් මෙම රෝගියාට ඇත්තටම  අවශ්‍ය වුනේ දියවැඩියා රෝගයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට. ඔහුට ඔහුගේ ජීවිත කාලය පුරාම දියවැඩියාවට බෙහෙත් ගැනීමට අවශ්‍ය වුනේ නැහැ. දියවැඩියා රෝගයට බෙහෙත් බොන්නට අවශ්‍ය නැති තැනට පැමිණීම අපි හඳුන්වන්නේ “දියවැඩියාව සමනය කිරීම” ලෙසයි. ඔහුට අවුරුදු ගාණක් බෙහෙත් බොන්නට සිදුවන්නේ නැති ජීවිතයක් අවශ්‍යය වුණ නිසා අපි ඒකට සැලැස්මක් හැදුවා. දියවැඩියාවෙන් මිදීමේ ක්‍රම සහ විදි තියෙනවා. ඒවා හැම පුද්ගලයෙකුටම නොගැලපුනත් සමහරුන්ට දියවැඩියාව සමනය කිරීමට ඒවායින් ප්‍රයෝජන ගත හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් රෝගයේ මුල් අවධියේ සිටින පුද්ගලයින්ට දියවැඩියාව සමනය කිරීමේ සැලැස්මකට යාමට හැකියාව තිබෙනවා.

අපි මුලින්ම බර අඩුකර ගැනීමට අවධානය යොමු කළා. දෙවනුව ව්‍යායාමය  සහ ආහාර පරිභෝජනය වැනි ජීවන රටාවේ වෙනස් කිරීම් සිදුකලා. අවසාන වශයෙන්, අපි රුධිරයේ සීනි මට්ටම ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කළා. අපි ගොඩනගපු සැලැස්ම තමයි ඒ. ඉතින් අපි ඒ අනුව වැඩකරන්න පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් බර අඩුකර ගැනීම සඳහා ඔහුට ඔහුගේ ආහාර රටාවේ වෙනසක් අවශ්‍ය වුණා. ඔහු කැමති දේ මත පදනම්ව මම ඒ සඳහා සුදුසු ආහාර සැලැස්මක් නිර්මාණය කළා. සෑම කෙනෙකුටම ව්‍යායාම අවශ්‍යයි. ඒ නිසා අපි ඔහුගේ ජීවන රටාවට ව්‍යායාම කිහිපයක් ඇතුළත් කිරීමට උත්සාහ කළා.  ඇවිදීම වැනි ක්‍රියාකාරකම් හරහා දිනකට පැය 1 ක් ව්‍යායාම කිරීමට ඔහු ක්‍රමක්‍රමයෙන් පුරුදු වුණා. බර අඩු කර ගැනීමටත් අපි ඖෂධ භාවිතා කිරීමට පටන් ගත්තා. විශේෂයෙන්ම, Empagliflozin, SGLT2 inhibitor සහ Victoza injection, GLP receptor blocker යන දෙකම ඒ සඳහා භාවිතා කළා.

මේ දේවල් එක්ක දියවැඩියා රෝගය සමනය කර ගැනීමටත්, දියවැඩියාව සඳහා බෙහෙත් නොබී ජීවත්වීමේ හැකියාව ලබා ගැනීමටත් ඔහුට හැකිවුණා. විශේෂයෙන්ම දියවැඩියා රෝගයේ මුල් අවධියේදී සිරුරේ බර අඩු කරගත් පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටමේ අඩු වීමක් සිදු වන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන බව අපි දන්නා කාරණයක්. ඔහුගේ HbA1c පරීක්ෂණ වලින් සාමාන්‍ය ප්‍රතිඵල පෙන්නුම් කරන අතර, ඔහුට මෙම තත්ත්වය පවත්වා ගනිමින් අවුරුදු 10, 15, හෝ 20ක් ජීවත් වීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔහුට මීට පෙර දියවැඩියා රෝගය තිබූ නමුත් දැන් එය එසේ නොවෙයි. ඔහු නව ජීවන රටාව හා වෙනස්කම් වලට අනුකූල නම්, ඔහුට දියවැඩියාව සමනය වූ තත්ත්වය තුළ රැඳී සිටින්න හැකියාව තිබෙනවා. 

මා සතුව ඇති දෙවන කතාව අවුරුදු 10 ක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙන නමුත් එම රෝගයේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු ගැනයි. තවදුරටත් රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයේ සිටියහොත් ඔවුන්ගේ ශරීරයට කුමක් සිදුවේද යන්න ගැන එම රෝගියා කනස්සල්ලට පත්ව සිටියා. ඔවුන් සමඟ ගොඩ නැගූ  සැලැස්ම පිළිබඳව මම ඔබට විස්තර කරන්නම්. දියවැඩියා රෝගය සුව කළ නොහැකි බවත් කිහිප දෙනෙකු සුව වුණත් සමහරුන් එය සමඟ ජීවත් වීමට පුරුදු විය යුතු බවත් අපි කියනවා. සාමාන්‍යයෙන් අවුරුදු 45ක කෙනෙක්ට හෘදයාබාධ, ආඝාතය, වකුගඩු ආබාධ, අක්ෂි ආබාධ එනම් දෘෂ්ටි විතානයේ ඇතිවෙන හානි, ස්නායු රෝග, හෝ තුවාල සුව වීමට  බලපාන සහ පාදයක් කපා දැමීමට පවා තුඩු දෙන කකුල් වලට ඇතිවෙන රුධිර ප්‍රවාහයේ ගැටළු වැනි සංකූලතාවලට මුහුණ නොදී අවුරුදු 85ක් දක්වා ජීවත් වීමට අවශ්‍ය දේ අපි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම සුවපහසු ලෙස ජීවත් වීමට අවශ්‍ය දේ ගැන මම ඔවුන් සමඟ සාකච්ඡා කළා.

නව වාහන නඩත්තු කිරීමේ තාක්ෂණය නිරීක්ෂණය කරන ලෙස මම ඔවුන්ට පැවසුවා. මීට පෙර තාක්ෂණය පදනම් වී තිබුනේ වාහනය අලුත්වැඩියා කිරීම මත මිස එය සර්විස් කිරීම මත නෙවෙයි. ඉතින් ගමන මැද වාහනයක් කැඩුනම ගරාජ් එකට ගෙනියනවා. නමුත් දැන් අපි වාහනය කැඩෙන එක වළක්වා ගන්න එය සර්විස් කරලා නඩත්තු කරනවා. දියවැඩියාව සඳහා අප භාවිතා කරන න්‍යාය එයයි. සෑම මාස 3 කට වරක්, අපි වාහනයක ෆිල්ටර පරීක්ෂා කරන ආකාරයටම රුධිරයේ සීනි මට්ටමට අදාළ අවදානම් තත්ත්වයන් පරීක්ෂා කර තක්සේරු කරනු ලබනවා. මෙම පරීක්ෂාවන් වලදී, අපි ඇස්, කකුලේ ස්නායු, වකුගඩු, හෘදයාබාධ ඇති කළ හැකි කොලෙස්ටරෝල් මට්ටම් සහ වෙනත් අවදානම් සාධක පරීක්ෂා කිරීමට වග බලා ගන්නවා. ඖෂධ ලබා ගන්නා අතර  එවැනි සංකූලතා වළක්වා ගනිමින් වසර 85 ක් දක්වා ජීවත් විය හැකි ජීවිතයක් ගැන මම ඔවුන්ට විස්තර කළා.

මෙම නව තාක්ෂණයේ ධනාත්මක පැත්ත එයයි. දියවැඩියාව නිසා ඉන්ද්‍රියන් වලට ඇතිවෙන හානිවලට ප්‍රතිකාර කිරීමට සහ එවා වැළැක්වීම සඳහා නව ක්‍රම අප සතුව තිබෙනවා. බොහෝ දෙනෙක් ජාත්‍යන්තරව පවා මෙම සංකල්පය භාවිතා කරනවා. ඒ කියන්නේ ගැටලුව ඇති වන තෙක් බලා නොසිට එය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමයි. මම දේශපාලනය ගැන කතා කිරීමට කැමති නෙවෙයි, නමුත් ඔබට ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වයෙන් ඉගෙන ගත හැකි කරුණු කිහිපයක් තිබෙනවා. ඔබ ශ්‍රී ලංකාව පිළිබඳව නිරීක්ෂණය කළොත් ඔබට පෙනේවී ගැටලු පැනනඟින විට අපි ඒවා විසඳන්න කටයුතු කලත් ඒවා වළක්වා ගැනීමට අපි ක්‍රියා කරන්නේ කලාතුරකින් බව. දියවැඩියාව පිළිබඳ අපි කටයුතු කරන්නේ එසේ නොවෙයි. වසර 40ක් පුරාවට මෙය ගැටලුවකින් තොරව ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව එනම් අපට එය හරියටම කළ හැක්කේ කෙසේද සහ ඉදිරි වසර කිහිපය තුළ කිසිදු සංකූලතාවයකට මුහුණ නොදීමට හොඳම සැලැස්ම නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව  අපට අවබෝධයක් තිබිය යුතුයි.

තුන්වන කතාව වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියෙකු ගැන යි. මෙම තත්ත්වය ඇතිවන්නේ ඔවුන් දියවැඩියාව, රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය නොකර ජීවත් වීමෙන්. මෙම වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න බෙහෙත් නිසා ඇති වන බවට වැරදි වැටහීමක් මිනිසුන් තුළ තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම එය දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයක්. ඒ හා සමාන තත්ත්වයන් ඇති බොහෝ දෙනෙකුට අපි පැවසුවේ මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැති බවත් අවසානයේ ඔවුන්ට ඩයලිසිස් හෝ වකුගඩු බද්ධ කිරීමට සිදුවනු ඇති බවත්ය. කොහොම වුණත්, නව තාක්ෂණය සමඟ අපි දැන් කරන්නේ එය නෙවෙයි. ඉහත අප සාකච්ඡා කළා වගේම  දියවැඩියාව සමනය කිරීමට මෙන්ම, දියවැඩියාව නිසා ඇතිවෙන වකුගඩු රෝග සමනය කිරීමට ද හැකියාව තිබෙනවා.

මෙම රෝගියා සඳහා,  ඔව් අපට මාර්ගයක් තිබෙන බව මම පැවසුවා. එහිදී පළමුව අපි මූලික අවදානම් සාධක හඳුනාගෙන ඒවා අවම කරගැනීමට කටයුතු කළා. අප සතුව ඇති නව ඖෂධ රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා පමණක් නෙවෙයි වකුගඩු වලට ද ධනාත්මක බලපෑමක් ඇති කරනවා. අප සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයට භාවිත කරන ඖෂධවලින් වකුගඩුවලට හානි සිදුවන බව බොහෝ දෙනාගේ අවධානයට යොමු වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා අපි වකුගඩුවලටත් හිතකර ඖෂධ භාවිතා කරනවා. ඒ වගේම අධි රුධිර පීඩනය සඳහාත් අප නිර්දේශ කරනු ලබන්නේ රෝගියාගේ වකුගඩු වලට ධනාත්මක බලපෑමක් ඇතිකරන ඖෂධයි. එම රෝගීන්ට බෙහෙත් වර්ග 7,8ක් පමණ ගන්න සිදු වුණත් වකුගඩුවලට අවම බලපෑමක් සිදුවන පරිදි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

සාමාන්‍යයෙන්, කාලය ගතවීමත් සමග වකුගඩු දුර්වල වන බව අපි අසා ඇති නමුත් මෙම නව ඖෂධ වර්ග වකුගඩු වල සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කරන බව  නව පර්යේෂණ හරහා අප නිරීක්ෂණය කළා. මම මගේ රෝගීන්ට කියන්නේ ඔවුන් වයසට ගියත්, ඔවුන්ගේ වකුගඩු තරුණ බවයි. රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා, දියවැඩියාව නිසා ඇතිවෙන වකුගඩු රෝගය සමනය කර තත්ත්වය යහපත් අතට හරවන්න අපට පුළුවන්.

මේ කතා තුන හරහා මට කියන්නට අවශ්‍ය වන්නේ දියවැඩියාව යනු ඔබ බිය විය යුතු දෙයක් නොවන බවයි. සුභ ආරංචිය නම් පාලනයක් නොමැති පුද්ගලයින්ට එය පාලනය කර ගැනීමටත්, දියවැඩියා රෝගීන්ට දියවැඩියාව සමනය කිරීමේ ක්‍රමයකට යාමටත්, අවයව හානි වූ පුද්ගලයින්ට සාමාන්‍ය සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට සැලැස්මක් සකස් කිරීමටත් ඒ වගේම මෙම රෝගී තත්ත්වය  සමග දීර්ඝකාලයක් ජීවත් වෙන්න සිදුවන පුද්ගලයෙකුට අපහසුවකින් තොරව ඒ ගමන යන්නටත් අපට කටයුතු කල හැකි බවයි.

MBBS MD FRCP, උපදේශක අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම්.