චර්ම රෝග විශේෂඥයින් ලෙස අපට බොහෝ ලෙස අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නයක් තමයි හිස පීරනකොට විශාල ලෙස හිසකෙස් ගැලවීයාම, නාන කාමරයේ බිම හිසකෙස් වැටී තිබීම එහෙමත් නැත්තම් නිදාගෙන නැගිටින විට හිස තැබූ කොට්ටයේ හිසකෙස් ගැලවී වැටී තිබීම.

ඔබත් මේ තත්ත්වයට මුහුණ දෙන මෙයට හේතුව කුමක්ද යන්න ගැන සැලකිලිමත් වන අයෙක්ද?

මේ ඔබ ඒ පිළිබඳව දැනගත යුතු දේවල්…

පළමුව, අපි මෙම සංසිද්ධිය “හිසකෙස් ගැලවීයාම”  ලෙස හඳුන්වනවා. දිනකට හිසකෙස් 50 – 150 ක් ගැලවීයාම  සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ කරදර වියයුතු නැහැ. සෑම කෙස් ගසක්ම අවුරුදු 3ත් 5ත් අතර කාලයකදී ගැලවී යන අතර එයට අදාළව නැවත එම ස්ථානයේම නව කෙස්ගසක් වර්ධනය වනවා. එහිදී කොණ්ඩයේ ඝනත්වය වෙනස් වෙන්නෙ නැහැ.

වයස අවුරුදු 25 න් පසු, පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිසෙහි හිසකෙස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය හේතුවෙන් වයස අවුරුදු 20 – 40 අතර කාලය තුළ ඔවුන්ගේ හිසකෙස්වල ඝනකම තරමක් වැඩි වන්න පුළුවන්. 40 න් පසු, ඔවුන්ගේ ද හිසකෙස් ප්‍රමාණය හා හිසකෙස් වල ඝනත්වය අඩු වීමකට ලක්වෙනවා.

සමහර රෝගාබාධ නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් අධික ලෙස හිසකෙස් ගැලවී යාම ඔබ දැක තිබෙනවා ඇති. සාමාන්‍යයෙන් එලෙස ඇතිවන තත්ත්වයක් වන්නේ, විශේෂයෙන් අධික ලෙස ඔසප් වන තරුණියන් අත්විඳින, යකඩ ඌනතාවයි. ඒ බව හඳුනාගෙන එම ඌනතාවය සඳහා ප්‍රතිකාර කිරීම නිරෝගී හිසකෙස් වර්ධනයට හේතුවෙනවා.

යකඩ හා සමානව, හිසකෙස් වර්ධනය සඳහා විටමින් D සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා. ඔබ දන්නවා ඇති අපි හිරු එළියට නිරාවරණය වන විට අපේ සමෙන් විටමින් D නිපදවන බව. අපි හිරු එළිය බහුලව අත්විඳින නමුත් අපේ රටේ සහ අපේ රට හා සමාන රටවල මිනිසුන් විටමින් D ඌනතාවයට ගොදුරු වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. එය හිසකෙස් අඩුවීමට හේතු වෙනවා.

සමහර අවස්ථාවලදී, මන්දතයිරොයිඩතාව සහ අධි තයිරොයිඩතාව වැනි රෝග (අඩු ක්‍රියාකාරී හෝ අධි ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක්, පිළිවෙලින් තයිරොයිඩ් හෝමෝනය අඩු හෝ වැඩි ප්‍රමාණයක් නිපදවීම) හේතුවෙන් ඔබේ හිසකෙස් වැටිය හැක. ඔබට එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, නිර්දේශිත හෝමෝන පරීක්ෂණ සිදුකර ගත යුතුය.

හිස්සොරි සහ එයට බෙහෙවින් සමාන seborrheic dermatitis යනු වඩාත් බහුලව දන්නා හිස්කබලේ ඇතිවෙන සංකූලතා දෙකකි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස හිස්කබලෙන් කුඩා පතුරු ගැලවී යන අතර එය හිසකෙස් වැටීමට හේතුවෙනවා. මෙම තත්ත්වයන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද සහ පිළිගත් හිස්සොරි ඉවත් කරන ෂැම්පු සතියකට කිහිප වතාවක් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්න.

ඔබේ හිසකෙස් මෝස්තර කිරීමට භාවිතා කරන රසායනික නිෂ්පාදන සහ  hair dryers, curlers සහ straighteners වැනි උණුසුම් මෙවලම් ‍යන්ත්‍ර ඔබේ හිසකෙස් දුර්වල කරන අතර ඉක්මනින් හිසකෙස් ගැලවී යාමට හේතු වෙනවා. විශේෂයෙන්, තෙත් හිසකෙස් මත ඉහළ තාප මට්ටමක් භාවිතා කිරීම “Bubble Hair Syndrome” ලෙස හඳුන්වන හිසකෙස් වල වායු බුබුළු නිර්මාණය වීමට හේතුවේ. එය ඔබේ හිසකෙස් වලට තවදුරටත් හානි ඇති කරයි.

ඔබ මුහුණ දෙන අතිවිශාල කායික හෝ මානසික ආතතිය ද ඔබේ හිසකෙස්වලට අහිතකර ලෙස බලපාන අතර අපි මෙය Telogen Effluvium ලෙස හඳුන්වනු ලබනවා. නිදසුනක් වශයෙන්, ඔබ කොවිඩ් හෝ ඩෙංගු උණ රෝගයෙන් පෙළුණු අයෙක් නම් හෝ දැඩි මානසික ආතතියකට ලක්ව සිටිය අයෙකුනම් මාස 2 – 3 කට පසු අධික ලෙස හිසකෙස් ගැලවී යාමක් ඔබට දැක ගත හැකිය. එය ඕනෑම ආකාරයක ශාරීරික හෝ මානසික ආතතියක් විය හැකිය. නමුත් ශුභාරංචිය නම් මාස කිහිපයකින් මේ සියල්ල යථා තත්ත්වයකට පත්වීමයි.

එපමණක් නොව, ඔබේ හෝමෝන සහ ජානවල සංයෝජනයෙන් ඇතිවන බලපෑම නිසා හිසකෙස් ගැලවී යාම ඇතිවන්න පුළුවන්. එය  Androgenetic Alopecia ලෙස හඳුන්වනු ලබයි. එය හිසකෙස් ගැලවී යාමේ සාමාන්‍ය ආකාරයක් වන අතර බහුලව පිරිමින් අතරද සමහර අවස්තාවන් වලදී කාන්තාවන් අතරද දක්නට ලැබේ.

අවසාන වශයෙන්,  ඔබේ හිසකෙස් අධික ලෙස වැටෙන බව හෝ එහි ඝණත්වය සීග්‍රයෙන් අඩුවන බව ඔබ සිතනවා නම්, ඔබ සුදුසු වෛද්‍යවරයෙකු හමුවී නිවැරදි රෝග විනිශ්චයක් සිදුකර ගැනීම වැදගත් වෙනවා.

ආචාර්ය දුලිනි ලියනගම
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය / MBBS, MD (Dermatology), MRCP (UK), SCE Derm MRCP

Author

Write A Comment